දීපා එදිරිසිංහ කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (13) ප්‍රකාශ කර තිබේ.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රී ධුරය භාරගන්නා අවස්ථාවේදී, වසරක කාලයකින් ඉන් ඉල්ලා අස්වන බවට පක්ෂයට ලබා දී තිබූ විශේෂ පොරොන්දුවක් සහ එකඟතාවක් ඉටු කරමින බව පැවසෙන අතර ඒ අනුව වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු ඇය මෙලෙස ධුරයෙන් ඉවත්ව තිබේ.

දීපා එදිරිසිංහ මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවද ඇය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මෙන්ම එහි සංවිධායක ධුරයේ ද තවදුරටත් සක්‍රියව කටයුතු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනකුම මීට පෙරද මෙලෙස එකඟතාවන් මත ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවයි. පක්ෂයේ අභ්‍යන්තර ක්‍රියාවලියට අනුව සෙසු සාමාජිකයන්ට ද අවස්ථාව ලබා දීම වෙනුවෙන් සිදුවන මෙවැනි ඉල්ලා අස්වීම් සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු පවසා ඇත.

Author

Related Posts