මීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව ඉහළට – තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13) රාත්‍රියේ සහ අද (14) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි සහ 25 හැවිරිදි වියේ පසුවූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකි.

මෙම මරණ දෙකත් සමඟ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය ජූලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකු ද මියගිය බවට පොලීසිය කළ තහවුරු කිරීමත් සමඟ මෙම සමස්ත ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූ මුළු පිරිස මේ වන විට 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් පිරිසක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව දැඩි සත්කාර සහ සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Author

Related Posts