වන්දිය ලක්ෂ 5ක් නොවේ, ලක්ෂ 20 ඉක්මවිය හැකියි-බන්ධනාගාර ප්‍රකාශක

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ට ලබාදෙන වන්දිය රුපියල් ලක්ෂ 5ක් නොව එය රුපියල් ලක්ෂ 20 ඉක්මවිය හැකි එකක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ සී ගජනායක පවසා ඇත.

මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබදෙන වන්දි මුදල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනවලට පැමිණ නොමැති බවත්, මේ වනවිට ගෙවා ඇති රුපියල් ලක්ෂ 5ක මුදල ඉදිරියේදී ලබාදීමට නියමිත වන්දි මුදලේ මූලික ගෙවීමක් බවත් ඔහු අවධාරණය කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ජුලි 10 දින ලිපියක් යවමින් දැනුම් දී තිබුනේ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදෙන බවට දැනගන්නට ලැබී ඇති බව හා ඒ සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවට පත්වන බවයි.

එම ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා කළ සේවය රුපියල් ලක්ෂ 5කට ලඝු කිරීම පිළිකුල් සහගක ක්‍රියාවක් යැයි ඔවුන් විශ්වාශ කරන බවද එහි සඳහන් කර තිබුණි. එහි වැඩිදුරටත් ඉල්ලා තිබුනේ මියගිය නිලධාරියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් හා තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිලධාරියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙන ලෙසයි.

Author

Related Posts