සුරාබදු ආඥා පනතට අනුව සහල් යොදාගෙන බියර් නිෂ්පාදනය කළ නොහැකි බවත්, වී මෝල්ට් බවට පත්කර පමණක් බියර් නිෂ්පාදනය කළ හැකි බවත් බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පවසයි.
බියර් මෝල්ට් වලින් පමණක් සැදීම සඳහා ප්‍රමිති හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සිය සංගමය මේ වනවිට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය. මේ වනවිට මෙරට බියර් නිෂ්පාදන සමාගම් මෝල්ට් වෙනුවට සහල් හා සීනි යොදා ගනිමින් බියර් නිෂ්පාදනය කරන බවත්, එය නීතියට පටහැනි බවත්, පුද්ගලයන්ගේ සීනි ප්‍රතිශතය ඉහළ යෑමට එය හේතු වී ඇති බවත්ය.
ඔහු ප්‍රකාශ කරන්නේ සියලු මත්පැන් වර්ග සෑදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඊට අදාළ නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇති බවත්, එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැති බවත්ය.
රා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන්ම අධිකරණය මගින් සිය සංගමය එස්එල්එස් ප්‍රමිතියක් පිළිබඳ නියෝගයක් ලබා ගත්තද, කෘතිම රා නිෂ්පාදනයට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව පියවර නොගන්නා බවද ඔහු අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජුලි 10 දින කැබිතිගොල්ලෑවේදී අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුනේ මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර බියර්, වයින්, ෂත්ත්ව ආහාර මෙන්ම අනෙකුත් සහල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
පසුගිය කාලයේ මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදුකිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත්, තම රජය එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුණි.
