විද්‍යුත් වීසා නිකුත් කිරීම් පෞද්ගලික සමාගම්වලින් ගලවයිද?

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීමට පසුගිය ආණ්ඩුව ඇතිකරගෙන ඇති ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳ යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (ජුලි 10) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට පසුගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන් හා පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන එම දැනුම් දීම සිදුකර ඇත.

එහිදී වැඩිදුරටත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා ඇත්තේ එම ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ඇමති මණ්ඩලය විසින් අනු කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව අදාළ ගිවිසුම් අද්‍යයනය කරමින් පවතින බවත්, එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

පෙත්සම්කරුවකු වන හිටපු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ එම ගනුදෙනු අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණත් මෙම පෙත්සම් ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය එම පෙත්සම් යළි සැප්තැම්බර් 29 දින කැඳවන ලෙස නියෝග කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading