හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිචෝදනා අද (7) දින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේදී විත්තිකරුවන් වෙත භාර දී තිබේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, නඩුවේ එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. ඊට අමතරව සියලුම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම්කර තිබේ. පසුගිය ජූනි 19 දින මීට අදාළ අධිචෝදනා 10ක් ගොනු කර තිබු අතර සාක්ෂි කරුවන් තිස් දෙනෙකු නම් කර තිබුනා.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට නියම කෙරුණු අතර, එදිනට නඩුව නැවත කැඳවීමට ද නියෝග කෙරිණි.
2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලය සමයේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහිපයකට හානි සිදුවී තිබූ අතර, එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව ක්‍රියා කරමින් හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කර බලපෑම් කොට රු. 8,850,000/- වන්දි මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුකරය පවරා ඇත.
නිල බලය අවභාවිත කරමින් රජයේ මුදල් මෙලෙස ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.
