ඉන්දීය නිවාස ව්‍යාපෘතිය: බදුල්ලේ නව නිවාස 57කට මුල්ගල් තැබේ

ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ කන්නාවේරල්ල වතුයායේ නව නිවාස 57ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගිය ජූලි 05 වැනිදා සිදු කළ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ පළාත් හයක් පුරා වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම මෙම සිව්වැනි අදියරේ මූලික ඉලක්කයයි.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව පුරා නිවාස 60,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිත අතර, මේ සඳහා ඉන්දීය රුපියල් බිලියන 18කට අධික ආධාර මුදලක් වෙන් කර ඇත. මෙහි පළමු සහ දෙවැනි අදියර යටතේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදිකර හෝ ප්‍රතිසංස්කරණය කර ඇති අතර, තෙවැනි අදියර යටතේ වතුකරයේ නිවාස 4,000ක් ඉදිකර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සහ වතුකරයේ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. නිවාස ව්‍යාපෘතිවලට අමතරව දික්ඔය රෝහල ඉදිකිරීම, ස්මාර්ට් පන්ති කාමර පිහිටුවීම, වතු පාසල් 9ක් නවීකරණය කිරීම සහ සීතා එළිය කෝවිල සංවර්ධනය සඳහා ඉන්දීය ආධාර ලබා දීම මීට අයත්ය.

එමෙන්ම, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීම නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 2023 ජූලි මාසයේදී ඉන්දීය රුපියල් මිලියන 750ක බහු ආංශික ආධාර පැකේජයක් ද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිත්නන් සෙල්වරාජ් මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු මානව සංවර්ධන භාරයේ නියෝජිතයන් සහ කන්නාවේරල්ල වතුයායේ ප්‍රාදේශීය ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading