ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත මෙන්ම පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීම ඊයේ (02) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම නවතම තාක්ෂණික පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය ඊයේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කර සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සිදුවිය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි මහජනතාවගෙන් ගාස්තු අයකරන අවස්ථාවන්හිදී ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.
වර්තමාන ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මෙම ක්‍රමවේදය හරහා සේවාලාභීන්ට මුදල් රැගෙන පැමිණීමේ අවදානම මඟහැරෙනවා, ඉතා කෙටි කාලයකින් තමන්ට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාගැනීමට හැකියාවත් මේ මගින් ලැබෙන බවද පැවසුවාය.
ඊයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ඇරඹෙන නව POS ගෙවීම් ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබාගෙන යාමකින් තොරව බැංකු කාඩ්පත් මගින් සෘජුවම ගෙවීම් සිදුකිරීමේ හැකියාව,ගනුදෙනු ඉතා ඉක්මනින් නිමකළ හැකි බැවින්, ජනතාවට සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අවම වීම, විශාල මුදල් ප්‍රමාණයක් අත තබා ගැනීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය වංචා හා මුදල් අස්ථානගත වීමේ අවදානම අවම වීම, නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම හරහා රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දායක වීම, සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු වන අතර, රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත වීම යන ප්‍රතිලාභ හිමි වේ.
ඊයේ දින සිටම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව මහජනතාව සඳහා විවෘතවන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
