මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවක අන්තර්ගත “කුමන්ත්‍රණය” නමැති චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (03) නිෂ්ප්‍රභ කර තිබේ.
එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.
පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ, මෙම නඩුවේ අනෙක් විත්තිකාරියක ලෙස නම් කර සිටි ඩේසි ෆොරස්ට් නැමැත්තිය නීතිපතිවරයා විසින් නඩුවෙන් නිදහස් කර ඇති බැවින්, තනි පුද්ගලයෙකුට එරෙහිව පමණක් “කුමන්ත්‍රණය කිරීමේ” චෝදනාව නීත්‍යානුකූලව පවත්වාගෙන යා නොහැකි බවයි.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ එක් විත්තිකරුවෙකුට එරෙහිව වුවද කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවයි.
