හිටපු ඇමති එස්එම් චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා බාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද (ජුලි 02) සිදුවිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට බෙදා දීම සඳහා ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ 36,000ක් ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
2015 ජනාධිපතිවරණයට පෙර එසේ සිය දේශපාලන හිතවතුන්ට එම බීජ බඩ ඉරිඟු බෙදා දීම හිටපු ඇමතිවරයා විසින් සිදුකර ඇති අතර ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ුෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් එල්ල කරමින්ය.
අධි චෝදනා බාර දීමෙන් පසු විත්තිකාර හිටපු ඇමතිවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් සහ රුපියල් පනස් දාහක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇති මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව යළි ජුලි 22 දින කැඳවීමට නියම කර ඇත.
