ලංකා බැංකුවේ දැනට පවතින ප්‍රධාන බැංකු පද්ධතිය වෙනුවට එම බැංකුවේ අරමුදල් යොදා ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක අති විශාල පිරිවැයක් දරමින් නව ප්‍රධාන බැංකු පද්ධතියක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පිළිබඳ ලංකා බැංකු සේවක සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
ලංකා බැංකු සේවක සංගමයේ අපගේ මූලාශයක් ප්‍රකාශ කරන්නේ රටේ ප්‍රධානතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුවද සිය ප්‍රධාන බැංකු පද්ධතිය වශයෙන් භාවිතා කරන්නේ ලංකා බැංකුවේ ප්‍රධාන බැංකු පද්ධතිය වන International Comprehensive Banking System බවත්, ඔවුන් එම පද්ධතිය යාවත්කාලීන කරමින් භාවිතා කරන බවත්ය.
ලංකා බැංකුවේ පද්ධතිය සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරිත්වයේ සාකච්ඡාව තුළ යාවත්කාලීන කිරීම ගැන කථා බහ කළ බවද, එහෙත් අවසන් නිගමනය කුමක්ද යන්න පිළිබඳ දැනුවත්වීම ලැබුයේ කැබිනට් මණ්ඩල තීරණයෙන් බවද වැඩිදුරටත් එම මූලාශය ප්‍රකාශ කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් යනු වර්තමාන විනිමය අනුපාත සමඟ සැසැඳූ කළ ආසන්න වශයෙන් රුපියල් මිලියන 3400 ක් පමණ වන අතර ලංකා බැංකුවට නව බැංකු පද්ධතියක් මිලදී ගැනීම සඳහා වන එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
එම කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන්නේ ලංකා බැංකුවේ ප්‍රධාන බැංකු පද්ධතිය වසර 22ක් පුරා භාවිතා කරමින් පවතින බවත්, එම පද්ධතියේ පවතින බොහෝ විශේෂාංග හා ක්‍රියාකාරිත්වයන් මෙන්ම ඊට පදනම් වූ තාක්ෂණයද වර්තමාන බැංකු කටයුතුවල ඉල්ලීම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බවයි. ඒ නිසා එම බැංකු පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වී ඇති නිර්දේශ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.
