ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කර ඇති අභියාචනය සැප්තැම්බර් 18 වැනිදා සලකා බැලීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය ජුනි 30 දින නියෝග කර ඇත.
තමාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් පවරා ඇති නඩුවක අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් එම ධුරයේ කටයුතු කිරීමට අවසර ලබාදෙන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ අතර එය ප්‍රතික්ෂේප කරමින් දිසා අධිකරණය ලබාදුන් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.
එහිදී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වගඋත්තරකරුවන්ට ඔහුගේ රාජකාරිවලට බාධා පැමිණවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් දිසා අධිකරණය තීන්දු කර තිබුණේ එයට අදාළ නඩුවේ තීරණයට සෘජුවම බලපාන බැවින් එවැනි අතුරු නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
