රාජ්‍ය නිලධරයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ.
සමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ටී අශෝක පීරිස් මහතා පත්කර ඇති අතර එයට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ජුනි 22 දින අංක 249/05 යටතේ ප්‍රකාශයට පත්කර ඇත.
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසර ආකාරයට කළමනාකරණය කිරීම පිණිස වසර ගණනාවක් පුරා ඇති වී ඇති වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැළකිල්ලට ගනිමින් රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට, 2026 අප්‍රේල් 06 දිනැති ඇමති මණ්ඩල තීරණය පරිදි 23/2014 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ 2026.02.25 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සැළකිල්ලට ගනිමින් සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සඳහා වන යෝග්‍ය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම, එම යෝජනා ඉදිරිපත් කිරීමේදී නව තාක්ෂණික ප්‍රවණතා හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව ද අවධානය යොමුකර අනාගත වෙනස්වීම්ද පුරෝකතනය කරමින් එම නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම, වෙනස්වන ගෝලීය තාක්ෂණික පරිවර්තනයන් සමඟ අනුකූල වන අනාගතයට සරිලන පරිදි, තාක්ෂණිකව සවිබලගැන්වූ, පුරවැසි කේන්ද්‍රීය, ආචාර ධර්මානුකූල සහ වගකීම් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා උපායමාර්ග නිර්දේශ කිරීම එම කොමිෂන් සභාවට පවරා ඇති වගකීම් වේ.
