ඡන්දෙදි ඇඟිලි පාට කිරීම අවසන්

මෙරට පැවැත්වෙන සියලුම මැතිවරණ සහ ඡන්ද විමසීම්වලදී ඡන්දදායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මෙරට මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය කර ඇති අතර, ඊට අමතරව නොමැකෙන තීන්ත භාවිතයෙන් ලකුණු කිරීම ද සිදු කෙරිණි. මෙම ක්‍රමවේද දෙකෙහිම මූලික අරමුණ වූයේ එක් ඡන්දදායකයෙකුට එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි.

කෙසේ වෙතත්, එකම අරමුණක් වෙනුවෙන් එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කාර්යක්ෂමතාවට බාධා එල්ල වන බව නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම නොමැකෙන තීන්ත මෙරටට ගෙන්වීම ඇතුළු කටයුතු සඳහා රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම ද මෙම තීරණයට හේතු වන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ඒ අනුව, නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම පිණිස පහත සඳහන් මැතිවරණ පනත් සංශෝධනය කිරීමට අදාළ පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

  • ජනාධිපතිවරණ: 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
  • මහ මැතිවරණ: 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
  • පළාත් සභා මැතිවරණ: 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
  • පළාත් පාලන මැතිවරණ: (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.
  • ජනමත විචාරණ: 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading