UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයට භූත පුත්තු රිංගලා – රවී

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ඊයේ (18) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත භූතයෙක්ගේ පුත්තු රිංගා ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සියෙන් පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සම්පූර්ණයෙන්ම පසෙකලා, මෙම අතළොස්සක් වූ භූත පුතුන් පක්ෂයේ ඉහළ තනතුරු සහ තීරණ ගන්නා බලතල ඩැහැගෙන ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ආශු මාරසිංහ පක්ෂයෙන් ඉවත් කළ බව සඳහන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම පිළිබඳව මාධ්‍යව්දියෙකු විසින් අසල ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

පක්ෂ අභ්‍යන්තරයේ විවිධ ගැටලු සහ විවේචන පැවතියද, වත්මන් නායකත්වය යටතේ මෙම ප්‍රධාන දේශපාලන බලවේග දෙක ඉතා ඉක්මනින්ම එකම පොදු පෙරමුණකට පැමිණෙනු ඇති බවත් එලෙස දෙපාර්ශවය ඒකාබද්ධ වීමෙන් අනතුරුව, දැවැන්ත සහ නොබිඳිය හැකි දේශපාලන ශක්තියකින් යුතුව ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

තමා රනිල් වික්‍රමසිංහට පසුව පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ටතම පුද්ගලයා බවත් වර්තමානයේ අලියා ලකුණින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත්‍රීවරයා තමන් බවත් එහි දී ඔහු පවසා සිටියේය. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ භූතයන්ගේ පුත්තු සිටින අතර එක්සත් ජාතික පක්ෂය සමහර පුද්ගලයින් විසින් තමන්ගේ අන්තිම කැමැත්ත සේ තමන්ගේ නමට උරුම කරගෙනදැයි යන ප්‍රශ්නය මතුවන බව ඔහු සඳහන් කර සිටියේය.

Author

Related Posts