දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඉහත නම් සඳහන් කළ පුද්ගලයින් පාස්කු විමර්ශනය සම්බන්ධව මහජන විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා. අදාළ සැකකරු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සාලේ නමැත්තා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාගේ රැඳවුම් නියෝග මත නීත්‍යානුකූලව රඳවාගෙන විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා. එලෙස නිසි නීත්‍යානුකූල තත්වයන් යටතේ රඳවාගෙන සිටින සැකකරු සම්බන්ධයෙන් ඉහත කී පුද්ගලයින් සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට විමර්ශකයින් චෝදනා කළා.
උසාවියේදී විමර්ශකයන් මෙසේ ප්‍රකාශ කළා.
“ස්වාමීනී පිටු 14කින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා මෙම විමර්ශනයට අදාලව. ස්වාමීනී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන විමර්ශන නොමඟ යැවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සිදුවන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේශ් සලේ 2026/06/05 වන දින රාත්‍රියේ සිට ආහාර ගැනීමෙන් ප්‍රතික්ශේප කලා. ඒ අනුව 2026/05/27 රාත්‍රියේ සැකකරුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළා. මේ වනවිට සැකකරු කොළඹ ජාතික රෝහලේ 42වන වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මෙම තුන්වන සැකකරු රෝහල් ගතවීමත් සමඟ ඒ කාලය තුළ ඉහත නම් සඳහන් කළ පිරිස අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජන අප්‍රසාදයක්, සැකයක්, අවමානයක් හා අපහාසයක් ඇතිවන අකාරයෙන් කටයුතු කරමින් අධිකරණය කෙරෙහි මහජන විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වී තිබෙනවා. මේ පිරිස මේ ක්‍රියා තුළින් විමර්ශනයට අගතිදායක වන අයුරින් සංවිධානාත්මක හා සැලසුම් සහගත කටයුතු කර තිබෙනවා.”
මෙම විමර්ශනය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සුරේෂ් සාලේව කෲර අමානුෂික ලෙස සලකන බවටත්, එය වධකාගාරයක් බවටත් හුවා දක්වමින් මෙම පිරිස ප්‍රකාශ නිකුත් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නා. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් සුරේෂ් සලේව දිගින් දිගටම ශානිගේ වධකාගාරය ඇතුලේ තියාගෙන වධ බන්ධන වලට ලක් කරමින් සිටින බවත්, ශානිගේ වධකාගාරයෙන් සුරේෂ් සලේව එලියට දාන ලෙසත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළා. එසේම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් අමානුෂික වද හිංසා දෙන ශානිගේ වධකාගාරයෙන් සලේ මුදාහරින ලෙසටත්, වධකාගාරයක් පවත්වා ගෙන යන්න එපා ලෙසටත් කළ ප්‍රකාශ මෙන්ම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න විසින් මෙම රඳවාගැනීම දස වද දෙන වධකාගාරයක් ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශද පොලිසිය අධිකරණයේ අවධානයට යොමු කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වධකාගාරයක් ලෙස හඳුන්වමින් සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස, අදාළ සැකකරු රඳවා සිටින සිරමැදිරිය ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ලද, ගැසට් පත්‍රයේ පළ කරන ලද නිල සිරමැදිරියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.
එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, රැඳවුම් සැකකරුවකුට හිමිවන සියලු පොදු පහසුකම් ඔහුටද ලබා දී ඇති බව ඔවුන් දැන්වූවා. තවද, මෙම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද ලිඛිතව වාර්තා කර තිබෙනවා. සැකකරු පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සුසිත මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පවා ගරු අධිකරණය විසින් පත් කර ඇති පසුබිමක , මහේස්ත්‍රාත්වරයා විසින් ද සිරමැදිරියට පැමිණ සැකකරු නිරීක්ෂණය කර ඇති බැවින් මෙය සම්පූර්ණයෙන්ම අධිකරණයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවතින නීත්‍යානුකූල රඳවා තබාගැනීමක් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළා.
ඒ අනුව 2024 අංක 8 දරණ අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකයට අපහස කිරීමේ පනත අනුව දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අයට අභියාචානාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බව විමර්ශන නිළධාරීන් අධිකරණයට දැන්වුවා.
විමර්ශකයන් වැඩිදුරටත් මෙසේ කීවා.
“ස්වාමීනී, මේ පුද්ගලයින් විවිධ මාධ්‍ය ආයතන වල විමර්ශනයට අදලාව සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් සියල්ල මෙම වාර්තාව තුළ පැහැදිල කරුණු ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීස්වර බණ්ඩාර, අසංක නවරත්න, මහින්ද පතිරණ යන අය විද්‍යුත් මාධ්‍ය හා ෆේස් බුක් තුළින් විමර්ශනයට හා අධිකරණයට අපහාසාත්මක වන අයුරින් සිදු කර තිබෙන මෙම වාර්තාවේ ඇතුලත් වෙනවා. ඒ අනුව මෙම පිරිස සම්බන්ධව විමර්ශනය සිදුකර අවසානයේ 2024 අංක 8 දරණ අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකයට අපහස කිරීමේ පනත ප්‍රකාරව අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරනවා. ස්වාමීනී මෙම නඩුව ජූලි 1 වැනිදා මෙම අධිකරණය හමුවේ නැවත කැඳවෙනවා. එදින මෙම පුද්ගලයින් හට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.
විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශන කටයුතු සිදු කිරීම උදෙසා අදාල ප්‍රකාශයන්හි වීඩියෝ දර්ශන විකාශය වූ විද්‍යුත් මාධ්‍ය ආයතන 10ක එනම් ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති, සියත, හිරු, ස්වාධීන රූපවාහිනිය, වසන්තම්, දෙරණ සහ ටී.එන්.එල් යන ආයතන වල සංරක්ෂණය නොකල වීඩියෝ පට අවශ්‍ය බැවින් ඊට අදාල නියෝග නිකුත් කරන ලෙසයි.
එමෙන්ම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්ති ප්‍රකාරව අදාල ප්‍රකාශ ඇතුළත් දර්ශන සජීවීව වීඩියෝ පටිගත කරන ලද කැමරා තාක්ෂණික ශිල්පීන්, දර්ශන හා ප්‍රකාශ මාධ්‍ය මඟින් ප්‍රචාරණය කළ මාධ්‍යවේදීන්, නිවේදකයන්, අධ්‍යක්ෂකවරු ඇතුළු ඒ හා සම්බන්ධ පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද අවසර ලබා දෙන ලෙස ද විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල නියෝග නිකුත් කළ අතර ඉදිරි නඩු දින දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අයට අධිකරණය හමුවට කැඳවමින් නොතීසි නිකුතු කිරීම ප්‍රතික්ශේප කළා.
මහේස්ත්‍රාත්වරයා පැවසූවේ, අද දින සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කළ බව තම අධිකරණය හමුවට දැනුම් දීමක් පමණක් සිදුකර ඇති බවත් නෛතික ප්‍රතිපාදන අනුව අදාල පුද්ගලයින් මෙම අධිකරණය හමුවට කැඳවීමේ හැකියාවක් නැති බවයි.
එබැවින් විමර්ශන අවසානයේ අදාල පුද්ගලයින් හට 2024 අංක 8 දරණ අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකයට අපහස කිරීමේ පනත අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන ලෙස කියා සිටි මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසු අභියාචානාධිකරණය හමුවට අදාල පුද්ගලයින් කැඳවෙන බව ද කියා සිටියා.
මේ අතර සැකකාර සුරේෂ් සලේ පරීක්ෂාවට කොළඹ ජාතික රෝහල වෙත මහේස්ත්‍රාත්වරයාගේ පැමිණීම අවශ්‍ය බව ද විමර්ශන නිළධාරීන් මෙහිදී අධිකරණයට දැන්වූවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසූවේ සැකකරු කොළඹ ජාතික රෝහලේ සිටී නම් ඔහු පරීක්ෂාව මාලිඟාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ යුතු බවයි.
ඒ අනුව සැකකරු පරීක්ෂාවට ලක්කල යුතු බව ජුනි 20 වැනිදාට පෙර මාලිඟාකන්ද මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරීන්ට දන්වා සිටියා.
නඩුව ජූලි 1 වැනිදා පස්වරු 2ට යළි කැඳවීමට නියමිතයි.
