ගහන බව දැනගෙන හිටියා – මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ… පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුවට දින දෙයි…

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය ලෙස එළඹෙන ජූලි මස 31 වන දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (15) තීරණය කර තිබේ.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විසින් මෙම නඩුවට අදාළ වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය නිවේදනය කර තිබේ.

බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු තිබියදීත්, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අදාළ තොරතුර තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ට ප්‍රකාශ කළ බවට විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය, නිලන්ත ජයවර්ධනගේ මූලික සාක්ෂියේදීම තහවුරු වී ඇති බවයි.

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වර්ධනය වී නොතිබූ බවත්, බුද්ධි සමාලෝචන රැස්වීම අවසානයේ විත්තිකරු ඒ පිළිබඳව විමසූ විට එය තහවුරු නොකළ තොරතුරක් බව පැවසූ නිලන්ත ජයවර්ධන, පොලිස්පතිවරයා වෙත ඒ පිළිබඳ දැනුම් දී ඇත්තේද එහි සැර බාල කර බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබේ.

මෙම තොරතුර ගැන අනෙක් අය දැනුවත් කරන ලෙස විත්තිකරු විසින් සිසිර මෙන්ඩිස් වෙත දැනුම් දී තිබූ බවත්, නඩුවේ චෝදනා 755ක් තිබුණද විත්තිකරුට එල්ල වී ඇත්තේ අනුබල දීමේ චෝදනාවක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ඕනෑකමින්ම ආධාර අනුබල දිය යුතු වුවද, හේමසිරි ප්‍රනාන්දු මහතාට මිනීමැරුම් චෝදනා එල්ල වී නොමැති අතර, ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සමඟ ඔහුට කිසිදු සබඳතාවක් තිබූ බවට සාක්ෂි නොමැති බවත්, හදිසි නීතිය පනවා හමුදාව කැඳවීමේ බලයක් ආරක්ෂක ලේකම්වරයාට නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව ක්‍රියා නොකර බරපතළ පැහැර හැරීමක් සිදු කර ඇති බවයි.

මෙම සාපරාධී නොකර හැරීම සම්බන්ධයෙන් විත්තිකරු වැරදිකරු කර ඔහුට නිසි දඬුවම් ලබා දිය යුතු යන්න පැමිණිල්ලේ ස්ථාවරය වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම නඩුවේ අනෙක් විත්තිකරු වන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව ද ලබන ජූලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් 12 වැනිදා නියම කර තිබුණි. ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවලට අදාළව මෙම විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිව පවරා ඇති නඩු ද්විත්වයේම තීන්දුව ලබන ජූලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය කටයුතු යොදා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading