එක්සත් ජාතීන්ගේ දිට්වා මානුෂීය මෙහෙයුම් අවසන් කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම අවසන් කර තිබේ.

එහි සමාප්තිය සනිටුහන් කිරීමේ අවස්ථාව අද (ජුනි 11) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්රේ ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදුකර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් සැපයූ නිවැරදි දත්ත සහ තක්සේරු කිරීම් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා වැදගත් වූ බවත්, ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි ස්වභාවික ආපදාවලට ඔරොත්තු දීම සඳහා බහුවිධ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමටත්, ජාතික, පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් ආයතනික සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව එහිදී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ ඩොලර් මිලියන 35.4ක් විපතට පත්වූවන් වෙනුවෙන් එක්රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබී ඇති අතර ඉන් සියයට 75ක සහනාධාර මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් ලබාදී ඇත.

ඒ යටතේ විපතට පත්වූ එක් පවුලක් වෙනුවෙන් රුපියල් 27,000 ක දීමනාවක්ද, තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහනාධාර රැසක්ද ක්‍රියාත්මක කර ඇත.

Author

Related Posts