සමෘද්ධි බැංකු පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර, තනි මධ්‍යගත බැංකු පද්ධතියක් යටතට පත් කිරීමට රජය මූලික කටයුතු ආරම්භ කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල විසින් මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, එහි මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ පවසා තිබේ.
රුපියල් බිලියන 400කට අධික මූල්‍ය ශක්තියකින් හෙබි සමෘද්ධි බැංකු පද්ධතිය, වත්මන් ක්‍රමය යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ක් තුළ සමෘද්ධි බැංකු ප්‍රජා මූලික මට්ටමින් වෙන වෙනම ක්‍රියාත්මක වේ.
මෙම ස්වාධීන පැවැත්ම හේතුවෙන් පසුගිය කාල වකවානුවලදී මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලන අවශ්‍යතා මත අරමුදල් බෙදා හැරීම් සිදු වූ බවත්, ඒ හරහා බරපතළ මූල්‍ය අක්‍රමිකතා රැසක් වාර්තා වූ බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත.
නව ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ වන්නේ මෙම සියලු ශාඛා ප්‍රධාන බැංකු පද්ධතියක් යටතට ගෙන ඒවා ජාලගත කිරීම මඟින් මූල්‍ය විශ්වසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම බව රජය පවසයි.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ දැඩි මතභේදයකට තුඩු දී ඇති අතර, මේ හේතුවෙන් වෘත්තීය සමිති අතර පැහැදිලි බෙදීමක් නිර්මාණය වී ඇත. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ දැනට සේවයේ නියුතු 23,000කට ආසන්න සේවක මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සහතික කරන්නේ නම් මෙම නවීකරණ වැඩපිළිවෙළට උපරිම සහාය දීමට තමන් සූදානම් බවයි.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් මතයක් දරන සමෘද්ධි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරන්නේ රජය මෙමඟින් සමෘද්ධි බැංකු පද්ධතිය විකිණීමට හෝ කොටස් කිරීමට උත්සාහ කරන බවයි. මෙම තත්ත්වයට සිය විරෝධය පළ කරමින් ඊයේ (10) කෑගල්ල නගරයේදී සමෘද්ධි සහ බැංකු නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.
මතු වී ඇති චෝදනා සත්‍යයෙන් තොර බව පවසමින්, සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වැනි ජාතික සම්මේලනය අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේ සමෘද්ධි දෙපාර්තමේන්තුව විකිණීමේ හෝ කොටස් කිරීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ පැහැදිලි කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කර සිටියේ, රජයේ එකම අරමුණ දුප්පත් ජනතාවගේ මුදල් ආරක්ෂා කරමින්, වංචා හා දූෂණ වැළැක්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ විධිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනැඟීම පමණක් බවයි. එලෙසම මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා දැනට සේවයේ නියුතු සේවක මණ්ඩලයේ අයිතිවාසිකම්වලට හෝ රැකියා සුරක්ෂිතතාවයට කිසිදු ආකාරයක හානියක් සිදු නොවන බවට ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
