සිගරට් බදු නිර්දේශිත මට්ටමේ නෑ! බිලියන 17.3 ක බදු අහිමිවෙලා! – වෙරිටේ රිසර්ච්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත මට්ටම්වලට අනුව සිගරට් බදු පවත්වා නොගැනීම හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 17.3ක පමණ ආදායමක් අහිමි වන බව වෙරිටේ රිසර්ච් හි (Verité Research) PublicFinance.lk විසින් සිදු කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දෙයි.

මෙම ඇස්තමේන්තුගත රුපියල් බිලියන 17.3ක අතිරේක වාර්ෂික ආදායම, රජයේ වැඩසටහන් කිහිපයක් සඳහා වෙන් කර ඇති සමස්ත අයවැය ප්‍රතිපාදන ද ඉක්මවා යන බව PublicFinance.lk පෙන්වා දුන්නේය.

අදාළ විශ්ලේෂණයට අනුව, මෙම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අයවැය මෙන් 1.2 ගුණයක් ද, පෝෂණ වැඩසටහන් සඳහා වෙන් කළ මුදල මෙන් 1.3 ගුණයක් සහ මාතෘ නිවාඩු ප්‍රතිලාභවල පිරිවැය මෙන් 2.4 ගුණයක් ද පමණ වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමින් සිගරට් බදු පවත්වා ගෙන යාමේ මූල්‍යමය වැදගත්කම මෙමගින් මනාව අවධාරණය කෙරේ.

2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව විසින් පුළුල් පදනමකින් යුතු බදු වැඩි කිරීම් ක්‍රියාත්මක කළද—එනම් ඉහළ ආදායම් බදු, එකතු කළ අගය මත බද්ද (VAT) 8% සිට 18% දක්වා වැඩි කිරීම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හඳුන්වා දීම සහ VAT නිදහස් කිරීම් කිහිපයක් ඉවත් කිරීම වැනි පියවර ගත්තද—සිගරට් මත වන සක්‍රීය බදු ප්‍රතිශතය ගමන් කර ඇත්තේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට බව මෙම වාර්තාවේ සඳහන් වේ.

විශ්ලේෂණය පෙන්වා දෙන පරිදි, සිගරට් සිල්ලර මිලෙහි සක්‍රීය බදු ප්‍රතිශතය 2021 සහ 2026 අතර කාලය තුළ සාමාන්‍යයෙන් සියයට 7.2 කින් පහත වැටී ඇත. මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, සිගරට් බදුකරණයෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන නිෂ්පාදන බදු (Excise duties) නිතිපතා සංශෝධනය කිරීමට අපොහොසත් වීමයි.

VAT බදු මෙන් නොව, සිගරට් නිෂ්පාදන බදු අය කෙරෙන්නේ එක් සිගරට්ටුවක් සඳහා ස්ථාවර රුපියල් අගයක් වශයෙනි. එමනිසා මිල ඉහළ යන විට ඒවා ස්වයංක්‍රීයව ඉහළ යන්නේ නැත. නිෂ්පාදකයින් සිල්ලර මිල ඉහළ නංවන විට, ඊට අනුරූපව නිෂ්පාදන බදු සංශෝධනය නොකරන්නේ නම්, අවසාන මිලෙහි බදු ප්‍රතිශතය පහත වැටෙන බව අදාළ වාර්තාව පැහැදිලි කරයි.

2018 වසරේදී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිණුම් දණ්ඩට ඉතා ආසන්න මට්ටමක සිටි බවත්, එවිට සිගරට් සිල්ලර මිලෙන් 74%ක්ම බදු ලෙස අය වූ බවත් PublicFinance.lk පෙන්වා දෙයි. නමුත් 2026 වන විට එම අගය 66.8% දක්වා පහත වැටී ඇති අතර, එය බදු ප්‍රමාණය සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් විය යුතු බවට වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට වඩා අඩු අගයකි.

වත්මන් පරිභෝජන මට්ටම් සහ සිල්ලර මිල ගණන් එලෙසම පවත්වා ගනිමින් බදු ප්‍රතිශතය 75% දක්වා යථා තත්ත්වයට පත් කිරීමෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 17.3ක අතිරේක ආදායමක් උපයා ගත හැකි බව වාර්තාව ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකාව 2003 වසරේදී දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමුගත සම්මුතිය (FCTC) අපරානුමත කළ බවත්, එම සම්මුතියේ ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ මගින් උද්ධමනයට සහ ආදායම් වර්ධනයට සමගාමීව දුම්කොළ බදු නිතිපතා වැඩි කරන ලෙස ඉල්ලා ඇති බවත් PublicFinance.lk වැඩිදුරටත් සඳහන් කරයි.

බදු ප්‍රතිශතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය සාපේක්ෂව සරල බව වාර්තාව තර්ක කරයි. මන්දයත්, සිගරට් බදුකරණය මූලික වශයෙන් පාලනය වන්නේ නිෂ්පාදන බදු හරහා වන බැවින්, නව නීති සම්පාදනයකින් හෝ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයක් හරහා පමණක් එය සංශෝධනය කළ හැකි බැවිනි.

නිර්දේශිත මට්ටමින් සිගරට් බදු පවත්වා ගැනීම මගින් රාජ්‍ය ආදායම් එකතු කිරීම ශක්තිමත් වීම පමණක් නොව, විවිධ අංශ හරහා බදු ප්‍රතිපත්තියේ අනුකූලතාව වැඩිදියුණු කරන අතරම රටේ මහජන සෞඛ්‍ය අරමුණු සඳහා ද දැවැන්ත සහායක් ලැබෙන බව එම වාර්තාව අවසන් වශයෙන් අවධාරණය කරයි.

Author

Related Posts