ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද දැවැන්ත වර්ධනයක් පෙන්වන Uber සහ PickMe වැනි ඩිජිටල් Apps හරහා සේවය සපයන රියදුරන්, Delivery Riders සහ නිදහස් වෘත්තිකයන් (Freelancers) මුහුණ දෙන දැඩි අනාරක්ෂිතභාවයට ස්ථිර විසඳුම් සෙවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පියවර ගෙන තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ දින වල පැවැත්වෙන 114 වන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේදී, මෙම ඩිජිටල් වේදිකා සේවකයන්ගේ (Platform Workers) අයිතිවාසිකම් නීත්‍යානුකූලව සුරක්ෂිත කිරීම සඳහා වන නව ගෝලීය කම්කරු සම්මුතිය (Convention) කෙටුම්පත් කිරීමට ඒකමතිකව තීරණය වී ඇත.
මෙතෙක් කලක් Uber හෝ PickMe වැනි ආයතන සෘජු සේවා යෝජකයන් ලෙස පෙනී නොසිටි අතර, ඔවුන් තමන් යටතේ සේවය කරන පිරිස හැඳින්වූයේ ස්වාධීන හවුල්කරුවන් ලෙසයි. මෙම තාක්ෂණික අර්ථකථනය හේතුවෙන් සාම්ප්‍රදායික කම්කරු නීති රීතිවලින් රීංගා යාමට එම සමාගම්වලට සහ ලාභය වෙනුවෙන් එම සේවකයන්ගේ ආදායම සූරා කෑමට අවස්ථාව ලැබුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සේවකයන්ට හිමිවිය යුතු මූලික වැටුප් සුරක්ෂිතතාව, වෛද්‍ය නිවාඩු, සහ වන්දි වැනි මූලික හිමිකම් රැසක් ඔවුන්ට අහිමි වී තිබුණි.
මෙවර සම්මේලනයේදී සම්මත වූ නව ප්‍රමිතීන්ට අනුව මෙම ඩිජිටල් වේදිකා සේවකයන්ට ද මූලික අයිතිවාසිකම් රැසක් හිමිවිය යුතු බවට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, ජංගම දුරකථන Apps හරහා සිදුකරන අත්තනෝමතික ගාස්තු කපා හැරීම් පාලනය කරමින් සාධාරණ සහ ස්ථාවර වේතනයක් ලබාදීම, EPF/ETF, විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය රක්ෂණ වැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඔවුන් ඇතුළත් කිරීම මෙන්ම, රාත්‍රී සේවා මුරයන්හිදී සහ අනතුරුවලදී රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව හා වන්දි ලබා ගැනීමේ අයිතිය තහවුරු කරමින් සේවා ස්ථානයේ සුරක්ෂිතතාව සැලසීම අනිවාර්ය වේ.
මීට අමතරව, පාරිභෝගිකයන් ලබාදෙන Ratings මත පමණක් පදනම්ව, කිසිදු පූර්ව විමසීමකින් තොරව සේවක ගිණුම් අත්හිටුවීමට සමාගම්වලට ඇති අයිතිය සීමා කරමින්, සාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමේ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් සකස් කිරීම ද මෙම නව සම්මුතියට අවධාරණය කර තිබේ.
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ තරුණ තරුණියන් මෙන්ම වෘත්තිකයන් විශාල පිරිසක් පූර්ණකාලීනව සහ අර්ධකාලීනව Uber, PickMe වැනි සේවාවන් සමඟ ජීවනෝපාය සරිකර ගනිති. ලංකාවේ පවතින සාම්ප්‍රදායික කම්කරු නීති (පඩිපාලක සභා ආඥාපනත වැනි) මෙම ඩිජිටල් ක්ෂේත්රයට ගැලපෙන පරිදි මෙතෙක් යාවත්කාලීන වී නොතිබුණි.
මෙම ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ක්‍රියාත්මක වීමත් සමඟ, ශ්‍රී ලංකා රජයට ද දේශීය කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරමින් මෙම “ඇප් රියදුරන්” සහ බෙදාහැරීම්කරුවන් නීත්‍යානුකූල සේවකයන් ලෙස පිළිගැනීමටත්, ඔවුන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් සැකසීමටත් සිදුවනු ඇත.
