2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරයේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා යළිත් වරක් නම් කර තිබේ.
ඒ අනුව, එළඹෙන ජූලි 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙත සිතාසි නිකුත් කිරීමට නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මීට පෙර ද සැකකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහැර සිටි අයෙකි.
එහෙත්, 2024 වසරේ ජනවාරි 03 වන දා එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ උපදෙස් මත මෙම සැකකරු නිදහස් කිරීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත්, අගතියට පත් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය විසින් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීම සහ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව නැවත වරක් සැකකරුවෙකු ලෙස නම් කිරීමට තීරණය කළ බව අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අනුව, පසුගිය අප්‍රේල් 29 වන දා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ද මොහු සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.
හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත්තේ 2008 වසරේදී දෙමළ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබාගෙන කප්පම් ගැනීමට තැත් කිරීම යන සිද්ධීන්ට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක වරෙන්තුකරුවෙකු වී සිටි හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවී සම්පත්’ නමැත්තාට සැඟවී සිටීමට සහ රටින් පලා යාමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව යටතේ ය. 2015 සිට 2017 දක්වා නාවික හමුදාපති ධූරය දැරූ රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, 2017 සිට 2020 දක්වා ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ ද කටයුතු කළේය.
මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම් කර සිටින, නේවී සම්පත් නමැත්තා සැඟවී සිටි පොල්වත්ත භාරව කටයුතු කළ ලක්සිරි අමරසිංහ සහ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව කප්පම් ගැනීම සඳහා තරුණයන් පැහැරගෙන යාමේ සිද්ධියක වරෙන්තුකරුවෙකුට රැකවරණය දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇත.
මෙම බරපතළ සිදුවීම් මාලාවේ ආරම්භය සනිටුහන් වන්නේ 2008 සැප්තැම්බර් 17 වන දා පාසල් වයසේ දරුවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වීමත් සමඟ ය. පසුව 2017 ජූලි 12 වන දා නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට පත් වූ අතර, ඔහුව ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා දැඩි විරෝධය පළ කළ ද 2018 ජනවාරි 09 වන දා කොළඹ මහාධිකරණය විසින් ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හය දෙනෙකු රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. මේ අතරතුර, 2017 ජූලි මාසයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනතට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විරෝධය පළ කර තිබිණි. වසර ගණනාවක් තිස්සේ ඇදී යන මෙම ආන්දෝලනාත්මක නඩුකරයේ ඉදිරි විභාග කටයුතු ලබන ජූලි 27 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි සිදු වීමට නියමිතය.
