සහරාන්ලාගේ වනාතවිල්ලුවේ පුපුරනද්‍රව්‍ය සහිත පුහුණු කදවුරේ නඩුව පුත්තලමෙන්, කොළඹට! නඩුව කඩිනම් වෙයි!

පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් හා පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වා ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 6 දෙනකුට ලබන ජූලි 13දා පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය සිතාසි නිකුත් කළේය.

මුලින් පුත්තලම මහාධිකරණයේ විභාග වූ මේ නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව පෙරේදා (08දා) විභාගයට ගැනුණි.

මහාධිකරණ විනිසුරු නලීන් අලුත්ගේ (සභාපති), රශ්මික සිංගප්පුලි සහ නයනා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මේ නඩු විභාගය පැවැත්විණි. මෙහිදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති සාක්ෂි පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වූ අතර, පුපුරන ද්‍රව්‍ය, යූරියා සාම්පල සහ විත්තිකරුවන්ගේ දුරකතන වාර්තා ඇතුළු නඩු භාණ්ඩ 92ක් නඩුවේ සාක්ෂි ලෙස පැමිණිල්ල විසින් නම් කර තිබේ. මීට අමතරව, ඉදිරි නඩු විභාගයන් සඳහා සාක්ෂිකරුවන් 57 දෙනෙකු නම් කර ඇති අතර විත්තිකරුවන් විසින් ත්‍රස්ත පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බව කියන පුත්තලම, කුරුණෑගල කැකුණගොල්ල සහ උලපනේ යන ප්‍රදේශවල සිවිල් සාක්ෂිකරුවන් සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු ලබන ජූලි මස 13 වැනි දින සාක්ෂි දීමට කැඳවනු ලැබේ.

මේ නඩුවට පාදක වී ඇත්තේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සිදුවීමට පෙර, 2018 වසරේ ඔක්තෝම්බර් 1දා සිට 2019 වසරේ ජනවාරි 16දා දක්වා පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි.

සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පුහුණු කිරීම සඳහා මේ ස්ථානය භාවිත කර ඇති අතර එහි තිබී යූරියා නයිට්‍රේට් (urea nitrate) කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ඇතුළු විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී. තවද එහි තිබී ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ 12ක්, පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක් සොයා ගැනිණි.

දැනට මියගොස් සිටින සහරාන් හෂීම් හෙවත් අබු උබෙයිදා, අච්චු මොහොමදු හස්තූන් හෙවත් අබු මොහොමද් යන අය සමඟ ගිනි අවි, පුපුරන ද්‍රව්‍ය සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් නීත්‍යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම සහ එම ද්‍රව්‍ය භාවිතකර පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලැක්ටොවත්ත ඉඩමේ හිමිකරු වන පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් නොහොත් අබු දහිදා හට, පාස්කු චුදිතයන්ට පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සඳහා ඉඩම බදු දීමේ චෝදනාව මත නඩු පවරා ඇති අතර, එම ඉඩම මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායට පවරා දී ඇත.

නඩුවේ විත්තිකරුවන් ලෙස අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා), අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි) සහ මෝහොමඩ් රමීෂ් මෝහොමඩ් සාජිද් (සාජිද් මවුලවි) යන විත්තිකරුවන් 6 දෙනා සහරාන් හා ඔහුගේ සොහොයුරා වන හස්තූන් සමඟ කඳවුර පවත්වා ගෙන යෑමේ චෝදනාවට මේ නඩුව පවරා ඇත.

මේ චුදිතයන් අතරින් පළමු සහ දෙවැනි විත්තිකරුවන් ඇප මත මුදාහැර ඇති අතර 3 සිට 5 දක්වා විත්තිකරුවන් වන ගෆූර් මාමා, සාදික් අබ්දුල්ලා සහ නවුෆර් මවුලවි යන අය පාස්කු මහ නඩුවේ චුදිතයන් වන බැවින් රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවෙති.

විත්තිකරුවන්ට එරෙහිව 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනතේ 2(1)ඊ සහ 3(ආ) වගන්ති යටතේ සහ 2011 අංක 41 සහ 2013 අංක 03 දරන පනත්වලින් සංශෝධිත 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනතේ 3(2අ) සමඟ කියවිය යුතු 3(4) වගන්ති යටතේ අධිචෝදනා 14ක් ගොනු කර ඇත.

පාස්කු චුදිතයන්ට, ඔවුන්ට අනුබල දුන් තැනැත්තන්ට ඒ සඳහා කුමන්ත්‍රණය කළ පුද්ගලයන්ට හා නිසි බුද්ධි තොරතුරු ලැබිය තිබියදී වළක්වා ගැනීමට අසමත් වීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයකුට, පොලිස්පතිවරයකුට සහ ජනාධිපතිවරුන්ට විරුද්ධව විමර්ශන 44ක් ක්‍රියාත්මක විය. මේ සමහර විමර්ශන අවසන්ව නඩු පවරා ඇති අතර තවත් ඒවා ක්‍රියාත්මක වේ.

කොළඹ මහාධිකරණයේ මේ වන විට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු දෙකක් හා තවත් මහාධිකරණ නඩුවක් විභාග වේ. නොයෙකුත් හේතු නිසා නැවතී තිබුණු මේ නඩු වර්තමානය වන විට කඩිනමින් විභාගයට ගැනෙන අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය. රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.

ඊයේ නඩු විභාගයේ දී නීතිඥයන් පෙනී නොසිටින විත්තිකරුවන් නඩුව සටහන් කර ගැනීම සඳහා මේසයක් හා පුටුවක් ඉල්ලා සිටි අතර නඩු විභාගයේදී එම ඉල්ලීම කරන ලෙස අධිකරණය දැනුම් දුන්නේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading