හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව ජූලි 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (04) නියෝග කළේය.
මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ, විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් පෙරේදා (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එය ජුනි 16 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ බවය.
එදින තෙක් නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බැවින්, සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් නඩුව ජූලි 09 වැනිදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා, සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ද නියෝග කළේය.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කරගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
