ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදකයා විසින් යළි එකතු කර ගැනීම සඳහා නව නීතියක් ඉදිරියේදී

අසේල කුරුළුවංශ

නිෂ්පාදනය කරන ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට බැහැර නොකොට යළි තමන් වෙත රැස්කර ගැනීමේ වගකීම නිෂ්පාදකයාට පැවරෙන නව පනත් සම්පාදනය කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව පරිසරය රැකගැනීම සඳහා වන නිෂ්පාදකයාගේ විස්තීර වගකීම සහිත පනතක් ඉදිරි සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කළේය.

ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී අද (04) පැවති අතර එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙම පන්නත සම්මත කරගැනීම මගින් නිෂ්පාදකයන් විසින් වෙළඳපලට නිකුත් කරන ප්ලාස්ටික් හා පොලිතින් යළි රැස් කිරීමේ නීතිමය වගකීම ඔවුන්ට පැවරෙන බවත් ඒ අනුව පළවෙනි වසරේදී නිෂ්පාදනයෙන් සියයට හතළිහක් රැස් කර ගත යුතු යැයි ඒ මහතා කීවේය.
පනත සම්මත කොට දෙවන වසරේදි සමස්ත නිෂ්පාදනයෙන් සියයට හැටක්ද තුන්වන වසරේ දී නිෂ්පාදනයෙන් සියයට අසූවක්ද වශයෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදකයා විසින් රැස්කර ගත යුතු යැයි ඒ මහතා සඳහන් කළේය.

රජයේ ආයතනවල කුඩා ප්‍රමාණයේ ජල බෝතල් මිලදී ගැනීම මේ වන විට තහනම් කරන චක්‍රලේඛනය ලබා දී ඇති බව කී ඒ මහතා ව්‍යාපාරික ස්ථානවලින් පරිභෝගිකයාට පොලිතීන් බෑග් නිකුත් කිරීමේ සීමාවක් පනවා ඇතැයිද කීවේය.

රජය, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව යන තුන් පාර්ශවය ඒකාබද්ධ කිරීම මගින් පරිසරය රැකගැනීමේ වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි යැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර මහත්මිය ඇතුලු නිලධාරීන් සහ පාසල් දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading