හොරණ බැංකු මංකොල්ලය: සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට

හොරණ නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවක රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන පරිදි මෙම සූක්ෂ්ම මංකොල්ලය සිදුව ඇත්තේ පෙරේදා පස්වරු 2.50 ත් 2.55 ත් අතර වූ කෙටි කාලය තුළදීය.

වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් වෙත රැගෙන යාම සඳහා රුපියල් 5000 නෝට්ටුවලින් සමන්විත රුපියල් මිලියන 35ක මුදලක් ලා ක්‍රීම් පැහැති, බැංකු ලාංඡනය සහිත මලු දෙකක බහා සහකාර කළමනාකරු විසින් සකස් කර තිබී ඇති අතර, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ මෙම මුදල් මලු බැංකුවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම එය කොල්ලකෑමට ලක්ව ඇත. එහිදී පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් ආරක්ෂකයන් ඉදිරිපිටදීම මෙම මුදල් මලු ක්ෂණිකව පැහැරගෙන පලා ගොස් තිබේ.

සිදුවීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කර ඇති අතර, ඔහු වහාම බැංකුවෙන් පිටත පරීක්ෂා කළ ද කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු සොයා ගැනීමට හැකි වී නැත. පසුව බැංකු කළමනාකාරීත්වය විසින් 119 හදිසි ඇමතුම් අංශය හරහා වහාම පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර, පලාගිය ප්‍රධාන සැකකරු සහ කොල්ලකන ලද මුදල් සොයා හොරණ පොලිසිය පුළුල් විමර්ශන සිදු කරයි.

Author

Related Posts