ශ්‍රී ලාංකිකයන් කැනඩාවට යොමු කරන බවට පවසා රවටා, ඉතියෝපියාවට ගෙන්වා ගෙන එහි ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි හරහා විවිධ වධහිංසා පමුණුවමින් කප්පම් ලබාගැනීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මෙරට පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රවටා ඉතියෝපියාවට ගෙන්වා ගැනීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති බවයි.
එලෙස ඉතියෝපියාවට රැගෙන යාමෙන් පසු, එහි ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත මෙම පිරිස් භාරදී විවිධ වධහිංසාවලට ලක් කර තිබේ. එලෙස වධහිංසාවට ලක්වන ශ්‍රී ලාංකිකයන් නැවත මුදා හැරීම සඳහා එම අපරාධ කල්ලි විසින් එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 30,000 බැගින් වූ අධික කප්පම් මුදල් ඉල්ලා ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මෙම බරපතළ ජාවාරම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අතර, එහිදී ක්‍රියාත්මක වූ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා මෙම සංවිධානාත්මක ජාවාරම පිළිබඳව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර තිබේ.
