අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා සම්බන්ධයෙන් WhatNews අප කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ තමන් මැදිහත් වූ කිසිදු සාකච්ඡාවකදී එවැනි මාතෘකාවක් කතාබහට ලක් නොවූ බවයි.
ජුනි 01 වැනිදා අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය පැවති සාකච්ඡාවකදී අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතිදැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
‘මම හිටපු සාකච්ඡාවේදී එහෙම දෙයක් වුණේ නැහැ. මෙම සාකච්ඡාව සංවිධානය කළේ අධිකරණ ක්ෂේත්රයේ ඇති ගැටලු පිළිබද සාකච්ඡා කරන්න. මේක සංවිධානය කළේ මගේ මැදිහත්වීමෙන්. මෙම සාකච්ඡාව ඔය කියන කාරණයක් ගැන සාකච්ඡා කිරීමට නෙවෙයි රැස් වුණේ.‘
විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමට හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සැලසුමක් තිබේදැයි අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය:
“අපි කොහොමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව පොරොන්දු වුණා. තවම ඒ ගැන ටයිම්ලයින් එකක් සාකච්ඡා වෙලා නැහැ.
අධිකරණ නිලධාරීන් විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන් සාකච්ඡාවක් මා එක්ක වෙලා නෑ. එහෙම එකක් තියෙනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම මැදිහත් වූ සාකච්ඡාවක් නැහැ.”
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සදහන් වුණේ, අධිකරණ ඇමතිවරයා සාකච්ඡාවට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා විසින් යම් පොරොන්දුවක් ලබා දී ඇති බවය. කෙසේ වෙතත් තවත් මාධ්‍ය වාර්තාවල සදහන්ව තිබුණේ ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැදවා තිබුණේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබද කතා කිරීමට බවය.
කෙසේ වෙතත් මූලාශ්‍ර කිහිපයකින්ම මෙවැනි විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා උක්ත සාකච්ඡාව පැවති බවට වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණි.
එමෙන්ම අධිකරන සේවයේ ඇතැම් පුද්ගලයන් අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබද සාකච්ඡාවක් ඇති නමුත්, එය කිසිසේත්ම වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් නොවන බවද අප වෙත අදහස් දැක්වූ ආරංචිමාර්ග පැවසීය.
