ගෝලීය ශ්‍රම බලකාය දැඩි අවදානමකට පැමිණ ඇති මොහොතක, 114 වන ජාත්‍යන්තර කම්කරු සමුළුව ජිනීවාහිදී ඇරඹේ

ලෝකයේ කම්කරු ප්‍රතිපත්ති සහ ශ්‍රම වෙළඳපොළේ අනාගතය තීරණය කරන ඉහළම ජාත්‍යන්තර වේදිකාව ලෙස සැලකෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන වාර්ෂික මහා සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. ඊයේ (01) ආරම්භ වූ මෙම සුවිශේෂී සමුළුව එළඹෙන ජුනි 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව සඳහා ILO සාමාජික රටවල් 187 ක රජයන්හි නායකයින්, විෂය භාර අමාත්‍යවරුන්, සේවායෝජකයන් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු 5,000කට අධික පිරිසක් සහභාගි වෙති.

මෙවර ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය මැයි 31 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, වෘත්තීය සමිති නායකයින්, සේවායෝජකයින් කිහිප දෙනෙකු මෙන්ම ජිනීවාහි ශ්‍රී ලංකාවේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක ද ඇතුළත් වෙති.

මෙම සුවිශේෂී සමුළුවට සහභාගි වීම තුළින් වැඩ ලෝකයේ මතුවන නව ප්‍රවණතා සහ අභියෝග සම්බන්ධ ගෝලීය සංවාද සඳහා සක්‍රීයව දායක වීමටත්, ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ වටිනා අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා ගැනීමටත් මෙරට නියෝජිත පිරිසට මහඟු අවස්ථාවක් හිමිවනු ඇති අතර ඔවුන් එසේ ක්‍රියා කරන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් නිකුත් කරන ලද “2026 ගෝලීය රැකියා සහ සමාජ ප්‍රවණතා” (World Employment and Social Outlook 2026) වාර්තාවට අනුව, මෙවර සමුළුව පැවැත්වෙන්නේ ගෝලීය ශ්‍රම බලකාය දැඩි අවදානම් සහගත සන්ධිස්ථානයකට පැමිණ ඇති මොහොතකය.

ලෝක විරැකියා අනුපාතය 4.9% මට්ටමක ස්ථාවරව පැවතියද, රැකියාවක් බලාපොරොත්තුවෙන් නමුත් එය සොයාගත නොහැකිව පසුවන සැබෑ රැකියා හිඟය මිලියන 408 ක් දක්වා ඉහළ යනු ඇතැයි එම වාර්තාවෙන් ගණන් බලා ඇත.

එමෙන්ම, ලොව පුරා බිලියන 2.1 ක ජනතාවක් තවමත් ස්ථාවරත්වයක් නොමැති අවධිමත් රැකියා ක්ෂේත්‍රවල නිරත වන අතර, මිලියන 300 කට ආසන්න පිරිසක් රැකියාවල නිරත වුවද අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙමින් රැකියා සුරක්ෂිතතාව ගිලිහීමේ තර්ජනයට මුහුණ දී සිටිති.

මීට අමතරව තරුණ සහ කාන්තා නියෝජනය පිළිබඳව ද මෙහිදී දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ගෝලීය තරුණ විරැකියාව 12.4% ක් දක්වා ඉහළ ගොස් තිබීමත්, තරුණ තරුණියන් මිලියන 260ක් (20%ක්) අධ්‍යාපනයක්, පුහුණුවක් හෝ රැකියාවක් නොමැතිව අතරමංව සිටීමත්, ලෝක ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය තවමත් ඉතා පහත් මට්ටමක පැවතීමත් මෙම වාර්තාව මඟින් පෙන්වා දෙන ප්‍රධානතම අභියෝගයන් වේ.

සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ILO අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ්. හූන්ග්බෝ අනතුරු ඇඟවූයේ, AI මඟින් සිදුවන ලාභය කම්කරුවන් අතර සාධාරණ ලෙස බෙදී යා යුතු බවයි. එසේම, වත්මන් භූ-දේශපාලනික ආතතීන් සහ තෙල් මිල ඉහළ යාමේ අවදානම හමුවේ මේ වසරේදී ලෝකයේ පූර්ණකාලීන රැකියා මිලියන 14 කට සහ ලබන වසරේදී මිලියන 38 කට සමාන වැඩ කරන කාලයක් අහිමි විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් රැකියා, ආදායම් සහ ජීවනෝපායන් අඛණ්ඩව දුර්වල වුවහොත්, කම්කරුවන් සහ ව්‍යවසායන් වැඩි ප්‍රමාණයක් අවධිමත් ක්ෂේත්‍රය වෙත තල්ලු විය හැකි අතර, එමඟින් ළමා ශ්‍රමය සහ බලහත්කාරී ශ්‍රමය උපයෝගී කරගැනීමේ අවදානම ද ඉහළ යනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි ගෝලීය ආර්ථික සහ තාක්ෂණික අර්බුද හමුවේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට සහ නව රැකියා ප්‍රතිපත්ති සකස් කර ගැනීමට මෙම 114 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවෙන් ලැබෙන මඟපෙන්වීම අතිශය තීරණාත්මක වනු ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading