යාපනය මහාධිකරණය සඳහා පත්කර මාසයක පමණ කාලයකදී මාරු කරන ලද විනිසුරු ඒජී ඇලෙක්ස්රාජාගේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙස යාපනය නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
විනිසුරු ඒ.ජී ඇලෙක්ස්රාජා යාපනය මහාධිකරණය සඳහා අප්‍රේල් 22 දින පත්කරන ලද බවත්, ඔහුව බදුල්ල අභියාචන මහාධිකරණයට මැයි 31 දින සිට මාරු කර ඇති බවත්, මෙසේ යාපනය මහාධිකරණයට පත්කර මාසයක පමණ කාලයකදී මාරු කිරීම සාමාන්‍ය පරිපාලනයට සම්බන්ධ නොවන හේතු නිසා ඇති වූවක් නොවන බවද එහි සඳහන් කර තිබේ.
මැයි 29 දින පැවති යාපනය නීතිඥ සංගමයේ අති විශේෂ මහා සභා රැස්වීමේදී සම්මත කරගත් යෝජනාවක් අනුව එම ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවත්, එම රැස්වීමේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විනිසුරු ඇලෙක්ස්රාජා නිකුත් කර ඇති ඇතැම් අතුරු නියෝග මෙම මාරුවීමට සම්බන්ධයක් ඇති බවට සිය සාමාජිකයින් අදහස් දක්වූ බවද එහි සඳහන් කර තිබේ.
ආණ්ඩුකාරවරයා රජයේ සාමාජිකයින් සමඟ මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් ඉල්ලමින් සන්නිවේදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එහි සඳහන් කර තිබේ.
අධිකරණ නිලධාරීන් මාරු කිරීමට අධිකරණ සේවා කොමිසමට ඇති බලය පිළිගන්නා අතරම හදිසි හා පැහැදිලි කළ නොහැකි මාරුවීම්, විශේෂයෙන් විධායක මැදිහත්වීම් පිළිබඳ චෝදනා මතුවන විට අධිකරණය කෙරෙහි මහජන විශ්වාශය අඩපණ වන බවද එහි සඳහන් කර තිබේ.
අධිකරණ ස්වාධීනත්වයට එල්ල වී ඇති බලපෑම ගැන සිය කනස්සල්ල පළකරමින් එම කරුණ පිළිබඳ ඉක්මණින් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක්ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
