බේසෝස්ගේ රොකට්ටුව පුපුරායයි! හත් ගව්වකට කම්පනය දැනෙයි!

ෆ්ලොරිඩා හි කේප් කැනවරල් (Cape Canaveral) හි පිහිටි රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථාන අංක 36 (Space Launch Complex 36) දී සිදු කළ එන්ජින් පරීක්ෂාවකදී බ්ලූ ඔරිජින් (Blue Origin) සමාගමට අයත් අඩි 321ක් උසැති ‘නිව් ග්ලෙන්’ (New Glenn) රොකට්ටුව දැවැන්ත ගිනි ජාලාවක් නංවමින් පුපුරා ගොස් තිබෙනවා.

මෙය ලොවපුරා අවදානයට ලක් වී තිබෙනවා.

ඇමෙරිකාවේ වෙලාව අනුව බ්‍රහස්පතින්දා රාත්‍රී 9:00 ට පමණ රොකට්ටුව දියත් කිරීමට සූදානම් වුණා නොවෙයි. ඒවෙනුවට සිදු කළේ එහි ප්‍රබල BE-4 එන්ජින් සහිතව රොකට්ටුව දියත් කිරීමට සුදුසු ආකාරයෙන් ලෝන්ච් පෑඩ් එකට සවි කොට ක්‍රියාත්මක කරමින් එන්ජිම පරීක්ෂා කිරීමයි. මෙම පරීක්ෂාව හදුන්වන්නේ හොට්ෆයර් එන්ජින් ටෙස්ට් එකක් ලෙස. මෙය අනපේක්ෂිත ලෙස දැවැන්ත පිපිරීමකින් අවසන් වුණා.

එම පිපිරීමේ දීප්තිය ෆ්ලොරිඩා වෙරළ තීරයම තැඹිලි පැහැයෙන් ආලෝකමත් කළා. සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි කොකෝවා බීච් හි ජනේල පවා දෙදරුම් කෑ බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ. අතර කිසිදු විෂ දුමක් හෝ වෙනත් උපද්‍රවයක් නොමැති බවත් බ්ලූ ඔරිජින් කියනවා.

බ්ලූ ඔරිජින් සමාගම X සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, “අද දින සිදුකළ එන්ජින් පරීක්ෂාවේදී අපට යම් අසාමාන්‍යතාවයකට මුහුණ දීමට සිදුවිය. සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිත බව තහවුරු කර ඇත. අප මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත් පසු යාවත්කාලීන කිරීම් ලබා දෙන්නෙමු,” යනුවෙන්.

බිලියන ගණනක ආයෝජනයක් සහ දශකයකට ආසන්න කාලයක සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන මෙම තට්ටු 29ක් උසැති නිව් ග්ලෙන් රොකට්ටුව, නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් විදියට හදුන්වනවා.

මෙය ඉලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන් සහ ස්ටාර්ෂිප් රොකට්ටුවලට ප්‍රබල තරගයක් දීම සඳහා නිපදවා තිබෙනවා. එහෙත් මේ වෙද්දීත් සාර්ථකව ක්‍රියාත්මක වෙන මස්ක්ගේ රොකට්ටුවලට තරගයක් දෙන්නට මේ පිපිරීම නිසා බේසෝස්ට අසීරු වේවි.

පුපුරා යන අවස්ථාව වන විට, මෙම රොකට්ටුව ඇමසන් සමාගමේ පහළ පෘථිවි කක්ෂීය (LEO) චන්ද්‍රිකා 48ක් අභ්‍යවකාශගත කිරීමට සූදානම් කරමින් හිටියා.

එම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් එකට අභියෝගයක් වෙන අන්දමේ තවත් විකාශන චන්ද්‍රිකා ජාලයක් දියත් කිරීම.

මීට අමතරව, පෙන්ටගනයේ ජාතික ආරක්ෂක චන්ද්‍රිකා කක්ෂගත කිරීමට වගේම නාසා ආයතනයේ ආටෙමිස් (Artemis) සඳ ගමන් වැඩසටහනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමටද මෙම රොකට්ටුව යොදාගැනීමට හැකිවනු ඇතැයි බේසෝස්ලා සැලසුම් කර තිබුණා.

මෙම සතිය මුලදී, නාසා ආයතනය විසින් සඳ මතුපිටට රෝවර් ගොඩබැස්සවීමේ කොන්ත්‍රාත්තුවක් බ්ලූ ඔරිජින් සමාගමට ලබා දී තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයේදී නිව් ග්ලෙන් රොකට්ටුවේ තුන්වන පියාසැරිය සාර්ථකව ගුවන්ගත වී එහි බූස්ටරය සාගරයේ ඇති වේදිකාවකට ගොඩබැස්සවීමට සමත් වුණා. ඒත් එහි ඉහළ කොටසේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් AST SpaceMobile චන්ද්‍රිකාව නිසි කක්ෂයට ඇතුළත් කිරීමට නොහැකි වී එය පෘථිවි වායුගෝලයට ඇද වැටී විනාශ වුණා. ඒ දෝෂය ගැන සමාගම විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළා. එයින් පස්සේ අඩුපාඩු නිවැරදි කිරීමට ඇමෙරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. එන්ජිම පිපුරුවේ ඔය අස්සේයි.

මේක දැකපු ඊලෝන් මස්ක් එක්ස් පණිවිඩයක් දමා තිබුණා. ‘හරිම අවාසනාවන්තයි. රොකට් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.‘ කියා උපහාසයකුත් මුසු කරමින් ඔහු කියා තිබුණා. ‘අභ්‍යවකාශ ගමන්වලදී කිසි වැරැද්දකට සමාව නොලැබෙන‘ බව මස්ක් කියා තිබුණා.

බේසෝස් කියා තිබෙන්නේ හේතුව දැනගැනීමට කල් වැඩිි වුණත්, අපි කරන්න තියෙන ඕනෑ දෙයක් කරලා නැවත මෙම රොකට්ටුවේ දෝෂ නිවැරදි කරගන්නා බවයි.

ජෙෆ් බේසෝස් සහ ඉලෝන් මස්ක් අතර ඇති මෙම සීතල යුද්ධය සහ අභ්‍යවකාශ තරගය, හුදෙක් පෞද්ගලික අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මේක තනි මිනිසුන් දෙදෙනෙකුගේ ඊගෝ ප්‍රශ්නයක් නෙවෙයි. මේක නව අභ්‍යවකාශ ධනවාදයේ (Space Capitalism) පැහැදිලි පිළිබිඹුවක්.

දශක කිහිපයකට පෙර රජයන් සහ රාජ්‍ය ආයතන (නාසා හෝ සෝවියට් සංගමය වැනි) පමණක් ආධිපත්‍යය දැරූ අභ්‍යවකාශ ගවේෂණය, අද වන විට දැවැන්ත බහුජාතික පෞද්ගලික සමාගම්වල වැඩක් වෙලා. ඔවුන්ට ලාභ ලැබීමට යන්න පුලුවන් නවතම වෙළඳපොළ බවට අභ්‍යවකාශය පත්ව තිබෙනවා.

අභ්‍යවකාශ ධනවාදය යනු පෘථිවියෙන් පිටත ඇති අනන්ත සම්පත් සහ අවකාශය වාණිජකරණයට ලක් කිරීම. අභ්‍යවකාශවල සංචාරක කර්මාන්තය වගේම, කැණීම් කටයුතුත්, නව ජනපද ඇති කිරීමත් දක්වා මෙම ව්‍යාපෘතිය අභ්‍යවකාශයට යනවා.

ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් වන බේසෝස් සහ මස්ක් වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙම තරගයට පිවිසෙන්නේ මූලික හේතු කිහිපයක් නිසා.

පළමුවැන්න නම්, ගෝලීය සන්නිවේදන සහ අන්තර්ජාල සැපයුමේ අනාගත ඒකාධිකාරය අත්පත් කරගැනීම. මස්ක්ගේ ස්ටාර්ලින්ක් (Starlink) සහ බේසෝස්ගේ ඇමසන් කයිපර් (Amazon Kuiper) ව්‍යාපෘති හරහා ඔවුහු සමස්ත ලෝකයේම සන්නිවේදන බලය තමන් සතු කරගැනීමට උත්සාහ දරනවා.

දෙවැන්න, අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය, ඇස්ටරොයිඩවල ඛනිජ සම්පත් කැණීම් සහ සඳ මතුපිට සම්පත් ගවේෂණය හරහා අනාගතයේදී බිහිවන ඩොලර් ට්‍රිලියන ගණනක අතිවිශාල ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වීම.

පෘථිවියෙන් පිටත මානව ජනාවාස ඇති කිරීමත් ඔවුන්ට සිහිනයක්. මස්ක්ගේ අඟහරු සිහිනය ඒ වගෙයි. බේසෝස්ටත් අභ්‍යවකාශ ජනාවාස සිහිනයක් තියෙනවා.

රොකට් එකක් පිපිරුවාට මේ තරගය නතර වෙන්නේ නෑ.

Author

Related Posts