සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සහ බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඔහු අවධාරණය කරන්නේ අදාළ ඇමතුම් සියල්ල ලබාගෙන ඇත්තේ සැකකරු බන්ධනාගාරගත වීමට පෙර බවත්, මීට කිසිදු දේශපාලන හෝ පාතාල සම්බන්ධයක් නොමැති බවත්ය.
මීට පෙර වාර්තා වී තිබුණේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර රැඳවියෙකු සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වැඩිදුර පරීක්ෂා කිරීමේදී, මන්ත්‍රීවරයා සහ අදාළ සැකකරු අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වී ඇති බවට අනාවරණය වූ බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබුණි.
මෙම සිදුවීමේ සැබෑ පසුබිම පැහැදිලි කරමින් මුජිබුර් රහුමාන් මහතා අප වෙත මෙසේ අදහස් දැක්වීය.
“සීඅයිඩීයෙන් මට කතා කරලා ඇමතුම් පණස් ගණනක් ගැන කිව්වා. මම ඒ අංකය ඉල්ලලා බැලුවා. ඒ අංකය මගේ දුරකථනයේ සේව් කරලා තියෙන්නේ මා සමඟ දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරන කාන්තාවකගේ නමට. ඇයගේ ඥාතියෙක් තමයි 2024 දී රිමාන්ඩ් වෙලා තියෙන්නේ. ඔහු රිමාන්ඩ් වුණාට පස්සේ බන්ධනාගාරය ඇතුළේ පාවිච්චි කරන්න අර ෆෝන් එක ඔහුට දීලා තියෙනවා. ඒක ඇතුළේදී අහුවෙලා චෙක් කරද්දී තමයි මගේ අංකය තිබිලා තියෙන්නේ.”
තමා සහ එම පුද්ගලයා අතර දුරකථන සංවාද සිදුවූයේ ඔහු බන්ධනාගාරගත වීමට පෙර, එනම් නිදැල්ලේ සිටියදී බව මන්ත්‍රීවරයා තරයේ කියා සිටියේය.
“මා එක්ක කතා කරලා තියෙන්නේ ඇතුළේ ඉඳන් නෙවෙයි, එළියේ ඉඳන්. සීඅයිඩීයෙන් මගෙන් ඇහුවා මේ පුද්ගලයා පාතාලයට සම්බන්ධයිද කියලා. ඔහු පාතාලයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් පමණයි. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය, විශේෂයෙන්ම සිරස නාලිකාව විසින් කරුණු අතිශයෝක්තියට නංවා අර්ධ සත්‍යයක් එක් කරමින් වාර්තා කරන බවට ද මුජිබුර් රහුමාන් මහතා මෙහිදී චෝදනා කළේය.
