කන්තලේ සීනි සමාගම් අල්ලස් සිද්ධියේ ප්‍රධාන වැරදිකරුවකු වන, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම වෙත පනවා ඇති රුපියල් මිලියන 20ක අතිරේක දණ්ඩන මුදල අයකර ගැනීම හෝ ඊට විකල්පව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සිය තීරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (25) මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
කන්තලේ සීනි සමාගමට අයත් දේපළ පැවරීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගැනීමේ වරදට ආචාර්ය මහානාම මේ වන විට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳිමින් සිටී. 2019 වසරේදී මෙම තීන්දුව දීමේදී ඔහුට රුපියල් මිලියන 20ක අතිරේක දණ්ඩනයක්ද නියම වූ නමුත්, එම මුදල විත්තිකරු විසින් මෙතෙක් ගෙවා නොමැත.
මුල් නඩු තීන්දුවේදී දණ්ඩන මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවට පැනවිය යුතු විකල්ප සිරදඬුවම් කාලය නිශ්චිතව දක්වා නොතිබීම හේතුවෙන් බන්ධනාගාර බලධාරීන් ඉකුත්දා මෝසමක් මඟින් අධිකරණයෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර කුමක්ද යන්නයි. මේ අවස්ථාවේදී අලුතින් අමතර සිරදඬුවමක් නියම කිරීමට තමන්ට නීතිමය බලයක් නොමැති බව ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල, ඒ සඳහා ඇති විකල්ප නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
ඒ අනුව, අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය විසින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් මඟින් පනවන දඩ මුදල් අයකර ගැනීම සහ දඩ නොගෙවීම වෙනුවට පැනවිය හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, විනිසුරු මඬුල්ල එම යෝජනා සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරය වෙත සිය නියෝගය ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ.
2018 වසරේ මැයි 03 වැනිදාය. කන්තලේ සීනි කර්මාන්තශාලාවේ ඉඩම් හා යන්ත්‍රෝපකරණ පැවරීම සඳහා ඉන්දීය ව්‍යාපාරික කේ.ජී. නාගරාජා මහතාගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක අල්ලසක් ඉල්ලා, පසුව එය රුපියල් මිලියන 100ක් දක්වා අඩු කර, ඉන් රුපියල් මිලියන 20ක් ලබාගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගැනුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසු 2019 දෙසැම්බර් මස 19 වැනිදා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික තීන්දුවට අනුව, නඩුවේ පළමු චූදිතයා වූ ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් මිලියන 20ක දණ්ඩන මුදලක් නියම විය. එමෙන්ම, මෙහි දෙවැනි චූදිතයා ලෙස කටයුතු කළ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 55,000ක දඩ මුදලක් එකී තීන්දුව මඟින්ම පනවනු ලැබීය.
