“ගෝඨා ගෝ ගම”  අරගල භූමියට පහරදීමේ සිද්ධිය : මාසයක් ඇතුළත දේශබන්දුට අධිචෝදනා

2022 වර්ෂයේදී ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම”  අරගල භූමියට එල්ල කළ අමානුෂික මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව මාසයක් ඇතුළත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා

අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ නියෝගය බල රහිත කිරීමට අභියාචනාධිකරණය මීට පෙර ලබා දී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී යි මෙම දැනුම්දීම සිදු කෙරුණේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙනෙවිය වෙතින් අධිචෝදනා ගොනු කිරීම සඳහා කොපමණ කාලයක් ගතවනු ඇති ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් නිශ්චිතවම මාසයක කාලයක් ඇතුළත එය සිදු වනු ඇති බවයි අධීකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවේ.

කෙසේ නමුත්, එහි දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් සෘජුවම අධිචෝදනා ගොනු කරන්නේ නම්, දැනට පවතින මෙම අභියාචනා නඩුකරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පල රහිත ක්‍රියාවක් වන බව අධිකරණය හමුවේ දක්වා සිටි නමුත්, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ නීතිමය තත්ත්වයන් සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන සැප්තැම්බර් මස 2 වැනිදා යළි කැඳවන ලෙසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading