අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ ඇති දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා ඇමරිකාවේ Apple මව් සමාගම වෙත විශේෂ ඉල්ලීමක් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දී තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය මේ බව කරුණු දක්වමින් කියා සිටියේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණයට අදාළව අද දින සාක්ෂි අංක 17, 18, 19 සහ 20 යන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීමට නියමිතව තිබුණ ද, ඉන් අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබා දී ඇත්තේ 17 වන සහ 18 වන සාක්ෂිකරුවන් පමණි. කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළ වැදගත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන මහත්වරුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.
අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාටම අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස කලින්ම දැනුම් දී තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇති අතර, ඒ පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඔවුන් අධිකරණයට නොපැමිණීමට හේතු වී ඇති කරුණු පිළිබඳව විමසා බලා, එම සාක්ෂිකරුවන්ට නැවත වතාවක් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙන ලෙසට පොලිසියට නියෝග කර තිබේ.
මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් වන වැඩිදුර සාක්ෂි විභාගය ලබන මැයි 29 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
