ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැයි 18 වැනිදා පොලීසියේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමල් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙහි ‘විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් විමල් වීරවංශ අත් අඩංගුවට ගනී‘ යනුවෙන් සඳහන් කර තිබුණි. මීට අමතරව රණවිරුවන් සැමරීමේ වරදට විමල් වීරවංශ අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් ඔහු සිය යූටියුබ් නාළිකාවට වීඩියෝවක් එකතු කර තිබේ.
මේ පිළිබඳ අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ‘තලංගම පොලීසිය මගින් 344 වගන්තිය ප්‍රකාරව විමල් වීරවංශගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබේ. කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා නැහැ.‘ යනුවෙනි.
දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය රාජකාරියට බාධා කිරීම පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් වන අතර එහි මෙසේ සඳහන් වේ. “344. රජයේ සේවකයකු වශයෙන් තම යුතුකම ඉෂ්ට කිරීමේ දී හෝ රජයේ සේවකයකු වශයෙන් තම යුතුකම ඉෂ්ට කිරීම වැළැක්වීමේ හෝ ඊට බාධා කිරීමේ අදහසින් හෝ රජයේ සේවකයකු වශයෙන් තම යුතුකම නීත්‍යනුකූල ව ඉෂ්ට කිරීමේ දී තමා විසින් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා රජයේ සේවකයකු වූ තැනැත්තකුට යමකු අඩන්තේට්ටම් කරතොත්, හෝ ඔහුට සාපරාධී බලහත්කාරය පාතොත්, ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතු ය.” එය කිසිසේත්ම රණවිරුවන් සැමරීම හෝ වෙනත් කරුණකට අදාල නීතියක් නොවේ.
විමල් වීරවංශ විසින් මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත වූ ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාල භූමියට ඇතුළු වීමට උත්සාහ කොට පොලීසියට බාධා කිරීම අත්අඩංගුවට ගැනීමට හේතුව වේ.
මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට ඔහුට තලංගම පොලීසියෙන් කැඳවීමක් ලැබී තිබුණි.
