පල්ලේගම හේමරතන සම්බන්ධ සිද්ධියේ වින්දිත බාලවයස්කාර දැරිය‌ගේ අයිතිවාසිකම් සහ යහපත වෙනුවෙන් මැදිහත් වන්න ! නීතිය හා සමාජ භාරයෙන් රජය වෙත ඉල්ලීමක්.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින,අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සඳහන් කරමින් නීතිය හා සමාජ භාරය සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  එම සංවිධානය රජයෙ වෙතින් ඉල්ලා සිටින්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් වහාම සිදුකර නඩු පවරන බව සහතික කරන ලෙසත්, මෙම සිද්ධියට අදාළව නඩු පැවරීමේ දී වින්දිත බාලවයස්කාර දැරිය‌ගේ අයිතිවාසිකම් සහ යහපත ආරක්ෂා කරනු ලබන බව හා ඇයට ඇයගේ මානසික හා ශාරීරික යහපැවැත්ම සුරක්ෂිත කරන ආරක්ෂාව සහ සහාය වෙත කඩිනම් සහ පූර්ණ ප්‍රවේශය ලැබෙන බව සහතික කරන ලෙසත් ය.

කෙසේ නමුත්, එම සංවිධානය චෝදනා කරන්නේ, ශ්‍රී ලංකාවේ නෛතික සහ ආයතනික රාමුවට ස්ථාවරව, මධ්‍යස්ථව සිටීමට සහ ළමයාගේ උපරිම යහපත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන බවත්, පුරවැසියන්ගේ සහ සමාජයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, ආයතනික වැඩපිළිවෙළ පූජ්‍ය පක්ෂයේ ප්‍රබලයෙකුට අවශ්‍ය පරිදි කටයුතු කර දීමට නම්‍යශීලී වී ඇති බවත් ය.

මේ වන විට මේ සම්බන්ධ නීති කටයුතු සිදුකෙරෙමින් පවතින බැවින්, නීතිය හා සමාජ භාරය මෙම නඩුවට අදාළ කරුණු පිළිබඳව හෝ කිසිදු පාර්ශ්වයක වරදකාරිත්වය හෝ නිර්දෝෂීභාවය පිළිබඳව අදහස් නොදක්වන බව හා සියලුම පාර්ශවවලට නීතිය ඉදිරියේ සමානව සලකන බව සහ සමාන ආරක්ෂාව ලැබෙන බව සහතික කිරීම සඳහා ආමන්ත්‍රණය කළ යුතු, රාජ්‍ය ප්‍රතිචාර යාන්ත්‍රණයෙහි ඇති ව්‍යුහාත්මක සහ ආයතනික අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කිරීම පමණක් මේ හරහා සිදු කිරීම තම අරමුණ වන බව මෙම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading