බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (20) තලංගම පොලීසිය වෙත නියෝග කරනු ලැබුවා.
ඒ හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව
අයුතු ජනරාශියක් සිදු කරමින් විමල් වීරවංශ සහ පිරිස ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත්, ඒ ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවත් තලංගම පොලීසිය ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වමින් සඳහන් කරනු ලැබුවා.
එහි දී විමල් වීරවංශ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ කමල් විජේසිරි මෙය කිසිසේත් නීති විරෝධී ජන රාශියක් හෝ අයුතු ඇතුළු වීමක් නොවන බව සඳහන් කරමින්, මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ අරමුණ සහිතව පැමිණි බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය ලිඛිතව දැනුවත් කොට ඇති බවත් අධිකරණය හමුවේ පවසා සිටියා.
එලෙස දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් සිදු කර ඉදිරි දිනකදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලීසියට නියෝග කරනු ලැබුවා.
