සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් තමා පොලීසියට අවස්ථා තුනකදී ප්‍රකාශ ලබාදුන් ලබාදුන් බව ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වැරදි ගිණුමකට ගිණුම්ගත කිරීම හේතුවෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටියදී මරණයට පත්වූ මහ භාණ්ඩාගාර සේවක රංග නිශාන්ත මහතාගේ බිරිඳ පැවසුවාය.
එම තුන්වන ප්‍රකාශය ඇය පොලීසියට ලබාදුන්නේ මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා හා විවිධ පාර්ශවයන්ගෙන් සිය සැමියාගේ මරණය ගැන අසමින් සිදුකරන විමසීම් නිසා තමා හා තම පවුලේ සාමාජිකයින් සිත් තැවුලට පත්වීම නිසා බව ඇය පැවසුවාය.
ඒ රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති විභාගයේදී සාක්ෂි ලබාදෙමින්ය.
රංග නිශාන්ත මහතා වැටී සිටි ස්ථානයට නුදුරින් ලේ පැල්ලම් සහිතව සොයා ගත් පිහිය ඇයට පෙන්වවීමේදී ඇය වැඩිදුරටත් පැවසුවේ එය තමා විවාහ වී එම නිවසට පැමිණෙන විටත් නිවවසේ එළවළු ආදිය කපා ගැනීමට භාවිතා කළ පිහිය බවයි.
පහත පළවන්නේ එම මරණ පරීක්ෂණ විභාගයේදී රංග නිශාන්ත මහතාගේ බිරිඳ, දියණිය, ඔහු වැටී සිටි අයුරු දුටු කාන්තාවක් හා උදය ගම්මන්පිල මහතා ලබාදුන් සාක්ෂිය.
රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සාක්ෂිය
පළමුවෙන්ම මරණ පරීක්‍ෂණ සාක්ෂි ලබා දෙමින්, මරණකරු වන රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී මහත්මිය, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ පැවසුවාය.
“මේ සිද්ධිය වෙන්නේ අප්‍රේල් 30 දා. මම සුපුරුදු පරිදි එදා උදේ දුවටත් නිවසේ සිටින මහත්තයාටත් උදේට කන්න කෑම හදලා පාසල් යන්න පිටත් වුණා. මම වෙනදා වගේම පාසලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙලා, නුවර දළදා මාලිගාවට යන්නත් සූදානමින් සිටි නිසා පෙරවරු දහයට පමණ නිවසට ආවා. නිවසට එන විට දහයයි පනහ වගේ වෙලා තිබුණා. ඇවිත් මම දුවගෙන් ඇහුවා කෑවද කියලා. දුව කෑවා, නමුත් තාත්තා කෑවෙ නෑ කියලා දුව කිව්වා. මහත්තයා පේන්න සිටියේ නැති නිසා, දුවගෙන් මහත්තයා කෝ කියලා විමසුවා. කජු ඇහිඳින්න යනවා කියලා පහළට ගිය බව ඇය කිව්වා.
මම මහත්තයා හොයන්න පිටිපස්සට ගියා, ඒත් මහත්තයා හිටියේ නෑ. ඊට පස්සේ මහත්තයාගේත් මගෙත් පවුලේ හිතවතෙක් වුණ උදය අයියට කෝල් එකක් ගත්තා. උදය අයියා ටිකකින් ආවා. අපි දෙදෙනාම මහත්තයාව හොයන්න ගියා. ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු රණවීර අයියත් අපේ උදව්වට ආවා. අපි මහත්තයා වැඩ කරන කුඹුර දිහාවට ගියා, ඒත් එතන හිටියේ නෑ.
පස්සේ බුලත් කොටුවේම වැඩ කරමින් හිටපු කරුණා අක්කා, මහත්තයා වත්ත මැද වැටිලා ඉන්නවා කියලා අපිට පණිවිඩයක් දුන්නා. අපි ඉක්මනට එතැනට ගියා. යනකොට වත්ත මැද මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා දැක්කා. මට ගොඩක් බය හිතුණා. එතන හිටපු අයගේ උදව්වෙන් මම මහත්තයාව උස්සගෙන කුස්සිය පිටිපස්සේ මඩුවට ආවා. ඊට පස්සේ 1990 ගිලන් රථ සේවයට කතා කළා. ඒ අය තමයි ඇවිත් පරීක්ෂා කිරීමෙන් පසුව මහත්තයා මිය ගිහින් තියෙනවා කියලා කිව්වේ.”
එහිදී සාක්ෂි විභාගය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මරණකරුගේ බිරිඳගෙන් විමසා සිටියේ, රංග නිශාන්ත මහතා එසේ වැටී සිටියදී හැඳ පැළඳගෙන සිටි ඇඳුම් මොනවාද යන්නයි. ඒවායේ පාට, ස්වරූපය ආදී ප්‍රශ්න ද එහිදීම අජිත් රෝහණ මහතා බිරිඳගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් මරණකරුගේ බිරිඳ පැවසුවේ, තද පැහැති සරමක් සහ කහපාටට හුරු ටී ෂර්ට් එකක් තම ස්වාමි පුරුෂයා මුල් අවස්ථාවේ හැඳ සිටි බවයි. එමෙන්ම ‘පොල් ගස’ සලකුණ සහිත පාවහන් යුගලක් ද ඔහු පැළඳ සිටි බව බිරිඳ එහිදී ප්‍රකාශ කළාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී ගරු අධිකරණයේ විශේෂ අවසරය මත නඩු භාණ්ඩ ලෙස ආවරණය කර තිබූ, මරණකරු මිය යන විට හැඳ පැළඳගෙන සිටි ඇඳුම් පැළඳුම් සියල්ල සහ පාවහන් යුගලයේ මුද්‍රා කඩා ඉවත්කර පෙන්වා සිටිමින්, මේ රංග නිශාන්ත මහතා මිය යන විට හැඳ පැළඳ සිටි වස්ත්‍ර ද යන්න ප්‍රශ්න කළේය. එහිදී බිරිඳ විසින් එම සරම, ටී ෂර්ට් එක සහ පාවහන් යුගලය තම ස්වාමිපුරුෂයා වන රංග නිශාන්ත මහතාගේ බවත්, ඔහු හැඳ පැළඳ සිටියේ එම ඇඳුම් බවත් පිළිගත්තාය.
රංග නිශාන්ත මහතා වැටී සිටි ස්ථානයට නුදුරින් කෙසෙල් කොටුවක් අසල ලේ පැල්ලම් ද සහිතව වැටී තිබී පොලිසිය විසින් සොයාගත් පිහිය ද රංග නිශාන්ත මහතාගේ බිරිඳට පෙන්නූ අතර, එය ද තමා විවාහ පත්ව එම නිවසට පැමිණෙන විටත් නිවසේ එළවළු ආදිය කපා ගැනීමට භාවිතා කළ පිහිය බවට ඇය අධිකරණය ඉදිරියේ හඳුනා ගන්නා ලදී.
ඉන් පසුව රංග මහතාගේ වස්ත්‍රාභරණ දැකීමෙන් අතිශය සංවේදීත්වයට පත් වූ බිරිඳ හඬා වැළපෙමින් අජිත් රෝහණ මහතාගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දුන්නාය. පසුව තමන් පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවත්, පසුව යළිත් ප්‍රකාශයක් ලබා දුන් බවත් ඇය පැවසුවාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා විමසා සිටියේ එම අවස්ථා දෙක හැරුණු කොට යළිත් පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා ද යන්නයි.
තෙවැනි වරටත් ප්‍රකාශයක් ලබා දුන් බව පැවසූ මරණකරුගේ බිරිඳ කියා සිටියේ, මාධ්‍ය ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ පාර්ශවයන් තමන්ගෙන් මේ පිළිබඳව විමසීම් කර තමා සහ තම පවුලේ අය සිත් තැවුලට පත් කරන නිසා, එය වළකා දෙන ලෙසට පොලිසියෙන් ඉල්ලීමක් කිරීමට එසේ තුන්වැනි වරටත් ප්‍රකාශයක් ලබා දුන් බවට ඇය අධිකරණයට පැවසුවාය.
එහිදීම ඉතා අවධාරණයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මරණකරුගේ බිරිඳගෙන් විමසා සිටියේ, අවස්ථා තුනෙන් කුමන අවස්ථාවක හෝ මෙම මරණය පිළිබඳව සැකයක් ඇති බවට පොලිසියට පවසා ඇද්ද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් මරණකරුගේ බිරිඳ පැවසුවේ, එසේ කිසිවිටෙකත් මෙම මරණය පිළිබඳව සැකයක් ඇති බවට කුමනයම් හෝ ස්ථානයක පවසා නැති බවයි.
යළිත් එම කරුණ ඉස්මතු වන සේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විමසා සිටියේ, මුල් අවස්ථාවේ කීමට නොහැකි වූ යමක් ඇත්නම් හෝ අලුතින් යමක් එක් කිරීමට ඇත්නම් ඊට අවස්ථාවක් සලසා දෙන බැවින්, සැකයක් පවතින්නේ නම් හෝ වෙනත් යමක් පවසන්නට ඇත්නම් ඊට අවස්ථාව ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් බිරිඳ පැවසූයේ මරණය ගැන සැකයක් නොමැති බවත්, අලුතින් කීමට ද යමක් නොමැති බවත්ය.
බාල දියණියගේ සාක්ෂිය
දෙවනුව සාක්ෂියට කැඳවූයේ මරණකරුගේ බාල දියණියයි. ඇයගෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ප්‍රශ්න කළ අතර, විමසූ පැනයන් සඳහා ඇය මෙසේ පිළිතුරු දුන්නාය.
“මේ මියගොස් සිටින්නේ මගේ පියා. අපි එදා දළදා මාලිගාවට යන්නයි සූදානමින් සිටියේ. අම්මා උදේ හතට විතර මට ඇහැරවලා, කෑම තම්බලා තියෙනවා තාත්තටත් දීල කන්න කියලා ගියා. මම හත හමාරට විතර නැගිටලා ගිහිල්ලා තාත්තාව බැලුවා, ඒත් තාත්තා හිටියේ නෑ. අම්මා දහයයි හතළිස් පහට විතර ගෙදර ආවා. ඇවිත් එයා නාන්න ගියා. නාලා ඇවිල්ලා තාත්තා කෝ කියලා මගෙන් ඇහුවා. කජු කඩන්න වත්ත පහළට යන බව කියලා තාත්තා ගියා කියලා මම අම්මට කිව්වා. අම්මා තාත්තාව හොයන්න ගියා. පස්සේ උදය අන්කල් ගෙදර ආවා. උදය අන්කල් එක්ක අම්මා තාත්තාව හොයන්න වෙල පැත්තට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ හයියෙන් කෑගහන සද්දයක් ඇහුණා. මම පිටිපස්සෙන් එළියට ගිහිල්ලා බලනකොට අම්මලා, උදය අන්කල්ලා එතන ඉඳන් කෑගහනවා ඇහුණේ. මම එතනට ගියාම දැක්කා තාත්තා වැටිලා ඉන්නවා. අම්මා එතන හිටපු මාමලා නැන්දලා ඔක්කොම එක්ක තාත්තාව උස්සගෙන ගෙදරට ආවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකට කතා කළා. එයාලා තමයි ඇවිල්ලා බලලා කිව්වේ තාත්තා නැති වෙලා කියලා.”
නිවසේ තනිව සිටින අවස්ථාවේ මොනයම් හෝ ශබ්දයක් ඇසුණා ද යන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී දැරියගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදෙමින් එම දැරිය පැවසූයේ එවන් කිසිදු ශබ්දයක් තමන්ට නොඇසුණු බවයි.
සිදුවීමට අදාළ සියලු විස්තර පොලිසියට ප්‍රකාශ ලබා දී අත්සන් කළ බව ද එහිදී දැරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
කරුණාවතී මහත්මියගේ සාක්ෂිය
ඉන් අනතුරුව සාක්ෂි විභාගය සඳහා කැඳවා තිබුණේ, රංග රාජපක්ෂ මහතාගේ සිරුර මුලින්ම දුටු බුලත් කොරටුවේ සේවය කළ කරුණාවතී මහත්මියවයි. ඇයගෙන් ද ප්‍රශ්න කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නීතිඥ අජිත් රෝහණ මහතා, ඇය එම සිද්ධිය මුලින්ම දුටුවේ කෙසේද යන්න විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් කරුණාවතී මහත්මිය කියා සිටියේ, තමන් ඇපලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, තමන් පදිංචි ස්ථානයේ සිට රංග මහතාගේ නිවසට කිලෝමීටර් 15 ක පමණ දුරක් තිබෙන බවත්ය. නිතර බුලත් කැඩීමට නොපැමිණියත්, පසුගිය වකවානුවේ දිනක් හැර දිනක් බුලත් කොටුවට තමන්ගේ සැමියා සමගින් බුලත් කැඩීමට පැමිණි බව ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් රංග මල්ලිගේ නෝනා (නිශා නංගී), මහත්තයා නිවසේ නැති බව කියමින් පැමිණි බවත්, පසුව තම ස්වාමිපුරුෂයා, නිශා නංගී සහ උදය මල්ලි සමගින් රංග මල්ලී සොයා යාමට ගිය බවත් කරුණාවතී මහත්මිය අධිකරණයට පැවසුවාය.
ඉන්පසුව තමන් සහ මධුෂානි නමැති තමන්ගේ ඥාති දියණිය සමගින් එක දිගටම වැඩ කළ නිසා, මඳ වේලාවක් ඉඳගෙන තේ පැන් පානයට සූදානම් වූ බව පැවසූ කරුණාවතී මහත්මිය, යළිත් නිශා නංගීගෙන් මල්ලී මුණ ගැසුණා ද යන්න විමසා සිටි බවත් පැවසුවාය.
“එහිදීම තවමත් රංග මල්ලී මුණ නොගැසුණු බව නිශා නංගී කිව්වට පස්සේ, මමත් මධුෂානිත් බුලත් කොටුවේ අනිත් පැත්තේ වත්තේ පිටුපසට ඇවිදගෙන ගියා. ඒ යද්දි අපි දැක්කා රංග මල්ලි වත්ත මැද වැටිලා ඉන්නවා. මම නිශා නංගිට කෑගහලා කිව්වා මෙන්න මල්ලි වැටිලා ඉන්නවා කියලා.”
එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇයගෙන් ද ප්‍රශ්න කර සිටියේ, කුමන හෝ සැක සහිත ශබ්දයක් තමන් උදෑසන සේවයට පැමිණි වෙලාවේ සිට සිදුවීම වන වෙලාව වන විට ඇසුණා ද යන්නයි.
එසේ ශබ්දයක් තමන්ට නොඇසුණු බවත්, වෙනදා බුලත් කඩන පැත්තේ බුලත් කැඩුවා නම් රංග මල්ලි එතැනට යන ආකාරය තමන් දකින බවත්, නමුත් සිද්ධිය වූ දිනයේ බුලත් කඩමින් සිටියේ වත්තේ අනිත් පස නිසා තමන් කිසිවක් නොදුටු බවත් ඇය පැවසුවාය.
හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිලගේ සාක්ෂිය
ඉන් පසුව අජිත් රෝහණ මහතා සාක්ෂියට කැඳවා සිටියේ හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාවයි.
සාක්ෂි විභාගය ආරම්භ කරමින් අජිත් රෝහණ මහතා ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ, ඔහු සිද්ධිය වූ දිනට දින කිහිපයකට පසු, එනම් හතරවැනිදා, මාධ්‍ය හමුවක් පවත්වා මෙම මරණය සැක සහිත බව ජනගත කළා ද යන්නයි.
ඊට පිළිතුරු ලබාදෙමින් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තමන් කිසිම විටෙක එවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. එමෙන්ම තමන් කළේ, රටේ ඉතාම වගකීමක් සහිත රාජ්‍ය නිලධාරියෙක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනකු පත් කිරීම වෙනුවෙන් නිකුත් කර තිබූ පත්කිරීමේ ලිපියක කොටසක් උපුටා දැක්වීම පමණක් යැයි ගම්මන්පිල මහතා පැවසීය.
එහිදී අජිත් රෝහණ මහතා ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කරමින්, පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු අධිකරණ ක්‍රියාවලියක් බවත්, නීතිඥ මහතෙකු ලෙසින් ඒ පිළිබඳව තමන් දන්නවා ද යන්න එහිදී ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේය. ගම්මන්පිල මහතා තමන් අපරාධ අධිකරණයේ නොව, සිවිල් අධිකරණයේ පෙනී සිටින, සිවිල් නීතිය පිළිබඳව කටයුතු කරන නීතිඥයෙකු බව පැවසුවේය.
උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය වෙනුවෙන් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා අධිකරණයේ අවධානය යොමු කරමින් කියා සිටියේ, මෙම මරණය සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ගණනාවකින් යම් යම් අදහස් පල වී තිබූ බැවින්, තමන්ගේ සේවාදායකයා වන උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාවම කැඳවීම පිළිබඳව නීතිඥ මණ්ඩලයට ඇත්තේ පුදුමයක් බවයි.
මාධ්‍ය වාර්තා සහ නඩු භාණ්ඩ ඉදිරිපත් කිරීම
එහිදී අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය. ඉකුත් හතරවෙනිදා සහ ඊට පසු දින රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ ගම්මන්පිල මහතා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක කොටසක් විකාශය වූ බවත්, එහිදීම රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධව මතයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වැනි වගන්තිය යටතේ සාක්ෂියක් ලබාගැනීම සඳහා අධිකරණයට කැඳවා ඇති බවත් පැවසීය.
එහිදී “පෑ 13 ඒ” ලෙස සලකුණු කරමින් දෙරණ නාලිකාවේ විකාශය වූ අදාළ ප්‍රවෘත්තියේ කොටසක් නඩු භාණ්ඩයක් ලෙසින් ඉදිරිපත් කරන බවත්,
“පෑ 13 බී” ලෙස එම පුවත වාර්තා කළ වාර්තාකරුගේ සංස්කරණය නොකළ දර්ශන අඩංගු හඬ පටයක් නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන බවත්,
එය තමන් විසින්ම සිදු කළ බවට අදාළ වාර්තාකරු විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශය “පෑ 13 සී” ලෙසත් සලකුණු කරමින් අධිකරණය භාරයට පත් කළේය.
එමෙන්ම එම පුවත හිරු ටීවී නාලිකාවේ විකාශය වූ කොටස “පෑ 14 ඒ” ලෙසත්,
වාර්තාකරු විසින් සැපයූ සංස්කරණය නොකළ දර්ශන අඩංගු තැටිය “පෑ 14 බී” ලෙසත්,
එය තමන් විසින්ම කළ බවට එම වාර්තාකරු විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශය “පෑ 14 සී” ලෙසත් සලකුණු කරමින් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට භාර දුන්නේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රශ්න කරමින් විමසා සිටියේ, මරණකරු මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි අසූවක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව මුල් පැමිණිල්ල සිදු කළ බවට කළ ප්‍රකාශය නිවැරදි දැයි යන්නයි.
ගම්මන්පිල මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තමන් මුල් අවස්ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැමිණි තොරතුරු අනුව මුල් පැමිණිල්ල සිදුකරන ලද්දේ මෙම මරණකරු විසින් බව දැන ගත් බවත්, මුදල් නියෝජ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී එය තහවුරු වූ බවත්, ඒ අනුව තමන් ඒ ප්‍රකාශය සිදු කළ බවත්ය. නමුත් පසු දින මුල් පැමිණිල්ල සිදු කර ඇත්තේ මරණකරු විසින් නොවන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ද ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ බව යළිත් කියා සිටියේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී කියා සිටියේ, ලේ තැවරුණු පිහිය රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලබාගන්නටත් පෙර මෙය සියදිවි හානි කර ගැනීමක් ලෙස හුවා දක්වන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ ප්‍රකාශයේ පදනම කුමක්ද යන්නයි.
ගම්මන්පිල මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ, මේ සිද්ධියට පාදක වී ඇත්තේ රටේ දැවැන්ත ආන්දෝලනාත්මක කරුණක් බැවින්, තමන් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුවත්, ඊට පෙරත් මැරුවාද, මැරුණාද යන්න ගැන සමාජයේ විවිධ කතා පැතිරුණු පසුබිමක පරීක්ෂණය අවසාන වූවායින් පසු එය සියදිවි හානි කර ගැනීමක් ලෙස ප්‍රකාශ කළේ නම් ගැටලු පැන නගින්නේ නොමැති බවයි. “එමෙන්ම මම මරණ පරීක්ෂණය සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළේ නෑ” යැයි ඔහු පැවසීය.
ඔබ පිහියේ ඇඟිලි සලකුණු රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා නැති බවටත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා ද යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එසේ පැවසූ බව පිළිගන්නා බවයි. එහෙත් දේහය කපා සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඇඟිලි සලකුණු වාර්තාවක් එතරම් වැදගත් නොවන බව වෛද්‍යවරුන් සඳහන් කරන බව තමන් දන්නේ ද යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා යළිත් ප්‍රශ්න කර සිටියේය. එහිදී ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තමන් පැවසූයේ තමන්ගේ මතය බවත්, නියෝජ්‍ය පොලිස්පතිතුමන් එම මතය පිළි නොගන්නේ නම් ඊට තමන් ගරු කරන බවත්ය.
ඇඳුම්වල ඇති ලේ පැල්ලම් පිළිබඳව ගම්මන්පිල මහතා තම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයක් කළා ද යන්න විමසා සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා, තමන් එම ලේ පැල්ලම් දුටුවා ද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දුන් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ තමන් පැවසුවේ මරණකරුගේ ඇඳුම් පැළඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් එය පරීක්ෂා කළ යුතු බව පමණක් බවයි.
එහිදී උදය ගම්මන්පිල මහතා අධිකරණයේ අවධානය යොමු කරමින් තමන් නීතිඥයෙක් බවත්, එමෙන්ම දේශපාලනඥයෙක් බවත්, පක්ෂ නායකයෙක් බවත්, මේ වන විට විපක්ෂය නියෝජනය කරන අයෙකු හා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු බවත් පැවසීය. එහිදී රාජ්‍ය නිලධාරීන් සතු බොහෝ කාරණා ඔවුන්ට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ නොහැකි බවත්, එහිදී ඔවුන් ඉතා සංවේදී රහස්‍ය තොරතුරු විපක්ෂයේ දේශපාලනඥයින් ලවා ජනගත කරන බවත්, ඒ අනුව තමන්ට ද මේ සිදුවීම පිළිබඳව පිළිගත් විශ්වසනීය රාජ්‍ය නිලධාරීන් බොහෝ තොරතුරු පැවසූ බවත්, එම තොරතුරු ද පාදක කරගනිමින් තමන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ බවත් ගම්මන්පිල මහතා පැවසීය.
එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, තමන් සිවිල් නීතිඥයෙකු යැයි පැවසූ ගම්මන්පිල මහතාව අපරාධ නීතිය සහ සිවිල් නීතිය යන අංශ දෙකටම අදාළව බලපවත්වන සාක්ෂි ආඥා පනතේ 60 වැනි වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට කැඳවා ඇති බවයි. ඒ අනුව 1995 අංක 14 වෙනි සාක්ෂි විශේෂ විධිවිධාන පනත අනුව, සමාජ මාධ්‍යයේ හෝ මාධ්‍යයේ හෝ යම් රෙකෝඩනයක සටහන් වූ යමක් පිළිබඳව මෙසේ අධිකරණයට කැඳවූ බව පැවසීය.
එහිදී ගම්මන්පිල මහතා කියා සිටියේ අධිකරණයේ සාක්ෂි ලබාදීමේදී සාක්ෂි ආඥා පනත අනිවාර්යයෙන්ම අදාළ බවත්, එය කිසිසේත් මාධ්‍ය හමුවකට බලපාන්නේ කෙසේද යන්න තමන් නොදන්නා බවත්ය.
එහිදී ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් බලවත් විරෝධය පාමින් කියා සිටියේ, උගත් නීතිඥ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ගේ නීතිමය දැනුම පෙන්වන්නට මෙම සාක්ෂිකරු වන උදය ගම්මන්පිල මහතාව ගෙන්වා කටයුතු කරන බවයි. එය හුදෙක්ම අධිකරණයේ වටිනා කාලය කා දැමීමක් බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකරන්නේ සාක්‍ෂි විභාගයක් නොව මරණ පරීක්ෂණයක් බවත් පවසමින් නඩුවට අදාළ නොවන ප්‍රශ්න විමසීම සම්බන්ධව එම නීතිඥ මණ්ඩලය සිය විරෝධතාවය පළ කළේය.
එහිදී ගරු මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නඩුවට අදාළ ප්‍රශ්න පමණක් විමසන ලෙසට පැවසීමෙන් පසුව, නීතිඥ අජිත් රෝහණ මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එකී මාධ්‍ය හමුවේදී මරණකරුගේ බිරිඳ මෙම මරණය සැක සහිත බව පැවසූයේ ඇයිද යන්නයි.
ගම්මන්පිල මහතා එහිදීම කියා සිටියේ, තමන් කිසිසේත් එම මරණය සැක සහිත බව බිරිඳ පැවසූ බවට කිසිදු අවස්ථාවක පවසා නොමැති බවත්, එම මරණය පශ්චාත් මරණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා පත් කළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමේ ලිපියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇත්තේ, බිරිඳ එම මරණය පිළිබඳව සැකයක් පළ කරන නිසා මෙසේ පත් කිරීමක් සිදු කළ බව යැයි පවසමින් ගම්මන්පිල මහතා අදාළ ලිපිය අධිකරණයේ අවධානයට යොමු කළේය. එමෙන්ම කළ යුතුව තිබුණේ තමන් සාක්ෂියට කැඳවනවා වෙනුවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසූයේ කෙසේද යන්න විමසා සිටීම බව ද එහිදී ඒ මහතා කියා සිටියේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා යළිත් ප්‍රශ්න කරමින් ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ, එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ විශ්වවිද්‍යාල සමයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයෙකු ඇතුළු මණ්ඩලයක් මගින් වීම නිසා මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් ලෙස කියා ඇත්තේ කාගේ බලපෑමට ද යන්න පවසා සිටි නිසා, ඔවුන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල තමන් දන්නවා ද යන්නයි. එමෙන්ම සෙසු අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනාම ලංකාවේ වෛද්‍ය සහතිකයක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාව යන රටවලින් වෛද්‍ය සහතික ලාභීන් වීම ද තමන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කර තිබූ හෙයින්, ඒ පිළිබඳව තමන් දන්නා තොරතුරු අධිකරණයට කියන ලෙස නීතිඥ අජිත් රෝහණ මහතා ගම්මන්පිල මහතාට යෝජනා කර සිටියේය.
ඊට එකඟ නොවූ ගම්මන්පිල මහතා කියා සිටියේ, තමන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වශයෙන් තමාට ලැබෙන තොරතුරු මූලාශ්‍ර කිසිසේත් හෙළි නොකරන බවයි. එසේ හෙළි නොකිරීම වරදක් යැයි අධිකරණයට හැඟී යන්නේ නම් අධිකරණය විසින් පනවන ඕනෑම දඬුවමක් විඳින බවට ඔහු එහිදී පැවසීය. එමෙන්ම මෙම පත්වීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත්, එතුමා ඉතාමත් හොඳ නිලධාරියකු බවත්, එම ප්‍රකාශයට කාගේ හෝ බලපෑමක් සිදුවූවා ද යන්න ගැන සාධාරණ සැකයක් තමන්ට පවතින බව මාධ්‍ය හමුවේ තමන් ප්‍රකාශ කළ බව ඒ පිළිබඳව කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ගරු මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා මෙම නඩුව පිළිබඳව වැඩිදුර විභාගය ජුනි මස 6 දක්වා කල්තැබීමට කටයුතු කළේය.
