අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා ක්‍රියාමාර්ගයක් ඉලක්ක කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක ව්‍යාජ වීඩියෝ පටයක් සංසරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විසින් ඊයේ (19) දින පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලට අදාළ ඇමුණුමේ Screenshot අනුව වරුණ රාජපක්ෂ, මිලින්ද රාජපක්ෂ, ඉරාජ් වීරරත්න සහ රවී කුමුදේශ් ඇතුළු පිරිසක් විසින් මෙම අසත්‍ය තොරතුරු සහ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කර තිබේ.
ජනතා බදු මුදලින් සොරාගත් දේපළ ජනතා අයිතියට පත් කරනු” සහ “සරසවි තුළ මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසඳුම් දී පීඨ සංකීර්ණ/නේවාසිකාගාර ඉදි කරනු” යන ප්‍රධාන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පසුගිය මැයි මස 14 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර තිබුණි. මෙම සාධාරණ ශිෂ්‍ය අරගලය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩප ශිෂ්‍ය සංගමය ද සිය පූර්ණ සහයෝගය ලබා දී තිබේ.
ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙම විරෝධතා ව්‍යාපාරයට අපහාස කිරීමේ සහ ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙහි මහජන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ව්‍යාජ වීඩියෝ නිර්මාණය කර ඇති බවයි.
සත්‍ය වශයෙන්ම අදාළ වීඩියෝ පටයේ දැක්වෙන්නේ, 2024 වසරේදී ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් සිය අධ්‍යයන කටයුතුවලට අදාළ නාට්‍ය රඟදැක්වීමක පුහුණුවීම් සහ පසුතල නිර්මාණය කරමින් සිටි අවස්ථාවකි.
එලෙස වසර දෙකකට පෙර ලබාගත් සාමාන්‍ය වීඩියෝ පටයක්, මේ දිනවල ක්‍රියාත්මක වන අන්තරේ විරෝධතාව අතරතුර සිසුන් විසින් පොදු දේපළවලට හානි කරන අවස්ථාවක් ලෙස හුවා දක්වමින් විවිධ අපහාසාත්මක අර්ථකථන සහිතව සමාජ මාධ්‍ය පුරා බෙදාහැර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. ශ්‍රී පාලි මණ්ඩපයේ සිසු සිසුවියන්ගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයට දැඩි හානියක් සිදුකරමින් දියත් කර ඇති මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ශිෂ්‍ය සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල පහත දැක්වේ.






