කපිල චන්ද්‍රසේනට කුලියට ඇප තැබූ ඇපකරුවන්ට ඇප ! කපිලගේ මරණයට සම්බන්ධදැයි සෙවීමට වැඩිදුර විමර්ශන !!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන කුලී ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (20) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව අදාළ සැකකරුවන් සඳහා විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ ව්සින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරුවන් වෙනුවෙන් ඇප තබන පුද්ගලයන්ගේ පදිංචිය සහතික කරන ග්‍රාම නිලධාරී සහතික අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුවන්ට වත්කම් තිබේද යන්න පිළිබඳව සනාථ කරන ලෙස ද නියෝග කරනු ලැබුවා.

කෙසේ නමුත්, මෙම සැකකරුවන් විසින් ඇප තැන්පත් කරනු ලැබූ කපිල චන්ද්‍රසේන යන අය මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණයට මෙම ව්‍යාජ ඇපකරුවන්ගේ ක්‍රියාවලිය පාදක වී ඇත් ද යන්න පිළිබඳව පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වන බව කෙසෙල්වත්ත පොලිසිය විසින් වැඩිදුරටත් අධිකරණයේ දී කරුණු දක්වමින් සඳහන් කළා.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්කාන්, බි.ඒ. තිස්ස සහ පෙරුමාල් ගනේෂ් නමැති සැකකරුවන් සිව් දෙනෙකුයි.

මෙම නඩුව යළි ජුනි 25 වැනිදා කැඳවීමට නියමිතයි.

Author

Related Posts