ආර්ථික වශයෙන් දැඩි ලෙස බිඳවැටී තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල රජයේ මුදල් නීතිවිරෝධී ලෙස ආයෝජනය කර රුපියල් කෝටි 184කට අධික (රු. 1,843,267,595.60) මහා පරිමාණ පාඩුවක් රජයට සිදුකිරීමේ චෝදනාව මත, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඊයේ (18) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී නව අධිචෝදනා භාර දෙනු ලැබීය.
2012 වසරේ වූ මෙම සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත්, උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩු කටයුත්ත කැඳවනු ලැබූහ.
අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව, නඩුව පූර්ව නඩු විභාගය සඳහා ගැනීමට තීරණය කළ විනිසුරු මඬුල්ල, විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකුගේ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
මීට අමතරව, විත්තිකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමටද අධිකරණය පියවර ගත්තේය. මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව වහාම දැනුවත් කරන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කෙරුණු අතර, විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගැනීමටත්, ඔහුගේ ඇඟිලි සටහන් ලබාගෙන පෙර වැරැදි පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුවට අදාළව ලේඛන 28ක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, පුද්ගලයන් 38 දෙනෙකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. ඒ අතර විදේශ කටයුතු ඇමැති විජිත හේරත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, මහ බැංකුවේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරුන් වන නයනා දමයන්ති සහ චන්ද්‍රා නානායක්කාර මෙන්ම හිටපු මහ බැංකු ලේකම් මොහොමඩ් ඉස්තාර් යන මහත්ම මහත්මීහු ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස ඇතුළත් වෙති.
ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් රජයට සිදු වූ රුපියල් කෝටි 184ක අතිවිශාල පාඩුව මාස 3ක් ඇතුළත නැවත ගෙවා පියවන ලෙස අධිකරණය දැනුම් දී තිබුණද, එම නියමිත කාලය තුළ අදාළ මුදල මහ බැංකුව වෙත ගෙවීමට අජිත් නිවාඩ් කබ්රාල් අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් ඔහුට එරෙහිව නැවත වතාවක් නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති අතර, ඒ අනුව ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව ඒ මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ තෙවැනි වරටය.
පළමු වරට 2014 වසරේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ නඩු පැවරුණු අතර, අධිචෝදනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවේදී අල්ලස් කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර නොතිබීමේ තාක්ෂණික දෝෂයක් මත විත්තිය මතුකළ මූලික විරෝධතාවක් පිළිගෙන චුදිතයන් නිදහස් කෙරිණි.
දෙවැනි වරට 2024 දී මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීය. කෙසේ වෙතත්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 144 වැනි වගන්තිය යටතේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා අනෙකුත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලදී. ඒ අනුව හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ,专බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ හිටපු සහකාර අධිපති එච්.ඒ. කරුණාරත්න නිදහස් කෙරුණු අතර, අනෙක් සහකාර අධිපතිවරයෙකු වූ චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන මහතා ඒ වන විටත් මියගොස් සිටියේය.
එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනාද දූෂණ විරෝධි පනතේ 67 වැනි වගන්තිය ප්‍රකාරව (නැවත නඩු පැවරීමේ අයිතිය ඇතිව) ඉල්ලා අස්කර ගනිමින් නඩුව අවසන් කෙරිණි. එහිදී ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට සිදුවූ රුපියල් කෝටි 184ක පාඩුව මාස 3ක් ඇතුළත මහ බැංකුව වෙත ගෙවා පියවන ලෙස විත්තිකරුට නියෝග කර තිබුණද, ඔහු එම කාලය තුළ මුදල් ගෙවීමට අපොහොසත් වීම නිසා අල්ලස් කොමිසම විසින් මෙම නව නඩුව පවරා තිබේ.
රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ ප්‍රමුඛ නඩුවක් බැවින්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නම් කර තිබේ.
ඊයේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජලක්ෂ්මි සිවසුබ්‍රමනියම් යන මහත්මීහු කරුණු දැක්වූහ. එමෙන්ම ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ඔර්නෙලා සිල්වා, අමිල දිසානායක සහ නිශ්ශංක පීරිස් යන මහත්ම මහත්මීහුද පැමිණිල්ල මෙහෙයවීම සඳහා එක්ව සිටියහ.
නඩුව ලබන ජූලි මස 01 වැනිදා නැවත කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.
