ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කිරීමේ චෝදනාව මත පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක මහතාට රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.
පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වූ වීඩියෝවක් මුල් කරගනිමින් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. අදාළ වීඩියෝ දර්ශනවල දැක්වුණේ ගායන ශිල්පී චාමර රණවක ඇතුළු තිදෙනෙකු ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව එකම යතුරුපැදියක අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරුයි.
මෙම වීඩියෝව ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකළ පානදුර උතුර පොලිසිය විසින් සැකකාර ගායන ශිල්පියාව අත්අඩංගුවට ගෙන අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.
අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව තමන් අතින් සිදුවූ වරද පිළිගැනීමට ගායන ශිල්පී චාමර රණවක මහතා කටයුතු කළ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත්වරයා රථවාහන නීති උල්ලංඝනය කිරීමේ මෙම වරදට ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවීමට නියෝග කර තිබේ.
