1996 වසරේදී සිදුවූ මාරාන්තික ගුවන් යානා ප්‍රහාරයක් සම්බන්ධයෙන් කියුබාවේ හිටපු ජනාධිපති 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝට එරෙහිව ෆෙඩරල් අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ.
මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බව අමෙරිකානු රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ 1996 පෙබරවාරි 24 වන දින කියුබානු ගුවන් හමුදාව විසින් මියාමි පදනම් කරගත් “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) නම් මානුෂීය සංවිධානයට අයත් සිවිල් ගුවන් යානා දෙකකට වෙඩි තබා බිම හෙලීමේ සිද්ධියයි.
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අමෙරිකානු පුරවැසියන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එකල කියුබාවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාවුල් කැස්ත්‍රෝ මෙම ප්‍රහාරයට සෘජුවම නියෝග ලබාදුන් බවට අමෙරිකාව චෝදනා කරයි.
වොෂින්ටනය සහ හවානා අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි. කියුබාවේ වත්මන් කොමියුනිස්ට් පාලනය දූෂිත පාලනයක් ලෙස හඳුන්වන ට්‍රම්ප් පරිපාලනය, එරට පාලන තන්ත්රය වෙනස් කිරීමේ අරමුණින් කියුබාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට පියවර ගෙන තිබේ.
මේ අතර, මෑතකදී අමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සියේ (CIA) අධ්යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් කියුබාවේ සංචාරයක නිරත වෙමින්, එරට පාලන ක්රමයේ මූලික වෙනස්කම් සිදුකළ යුතු බවට වන ප්‍රබල පණිවිඩයක් ලබාදී ඇති බව ද වාර්තා වේ. මෙම දේශපාලන වාතාවරණය හමුවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම, දෙරට අතර පවතින අර්බුදය තවදුරටත් උත්සන්න කිරීමට හේතුවක් වී ඇත.
රාවුල් කැස්ත්‍රෝ 2021 වසරේදී කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වුවද, ඔහු තවමත් එරට දේශපාලන ක්ෂේත්රය තුළ අතිශය බලගතු සහ තීරණාත්මක චරිතයකි.
අමෙරිකාව විසින් එල්ල කිරීමට සූදානම් වන මෙම නව අධිචෝදනා සම්බන්ධයෙන් කියුබානු විදේශ අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, මීට පෙර අමෙරිකානු රජය විසින් පැනවූ විවිධ සම්බාධක සහ දේශපාලන බලපෑම් ඔවුන් දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම පසුබිම තුළ, හිටපු නායකයාට එරෙහිව ගනු ලබන ඕනෑම නීතිමය පියවරක් කියුබානු රජයේ දැඩි විවේචනයට ලක්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය කියුබාවද?
ට්‍රම්ප් පරිපාලනය කියුබාව සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිය දෙස බැලීමේදී, කියුබාව ඔවුන්ගේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ඉලක්කයක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රාවුල් කැස්ත්‍රෝට එරෙහිව නඩු පැවරීමට සූදානම් වීම මෙම ක්‍රියාවලියේ එක් තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකිය.
ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ කියුබාවේ වත්මන් කොමියුනිස්ට් පාලනය “දූෂිත” සහ “අසාර්ථක” එකක් බවයි. රාවුල් කැස්ත්‍රෝ වැනි ප්‍රබල නායකයෙකුට එරෙහිව දශක තුනකට පෙර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් නඩු පැවරීම හරහා, කියුබානු රජයේ නීත්‍යානුකූලභාවයට අභියෝග කිරීමට සහ ජාත්‍යන්තර වශයෙන් ඔවුන් හුදෙකලා කිරීමට වොෂින්ටනය උත්සාහ කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාමාර්ග හරහා ඔවුන් උත්සාහ කරන්නේ කියුබානු පාලන තන්ත්රය අර්බුධයකට යැවීම බව පැවසිය හැකිය. නමුත් ඒ කුමක් සඳහාද යන්න ගැටලුවකි.
බරක් ඔබාමා පාලන සමයේදී කියුබාව සමඟ ඇති කරගත් ලිහිල් සබඳතා සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, ට්‍රම්ප් රජය විසින් කියුබාවට එරෙහිව දැඩි ආර්ථික, සංචාරක සහ වෙළඳ සම්බාධක පනවා ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කියුබානු රජයට ලැබෙන ආදායම් මාර්ග අවහිර කරමින් ඔවුන්ව දුර්වල කිරීමයි.
සීතල යුද්ධය පැවති සමයේ සිටම අමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර පවතින්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාද දෙකක් මත පදනම් වූ දැඩි ගැටුමකි. කියුබාවේ දැනට පවතින කොමියුනිස්ට් පාලන ක්‍රමය මුළුමනින්ම බිඳ දමා, ඒ වෙනුවට බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපනය කිරීම වොෂින්ටනයේ දිගුකාලීන අපේක්ෂාව වී තිබේ.
රාවුල් කැස්ත්‍රෝ වැනි කියුබානු විප්ලවයේ ජීවමාන සංකේතයක් අධිකරණය හමුවට පමුණුවා වගකීමට බැඳ තැබීම හරහා, අමෙරිකාව උත්සාහ කරන්නේ එම කොමියුනිස්ට් පාලන තන්ත්රයේ සදාචාරාත්මක පදනම ජාත්‍යන්තරය හමුවේ ප්‍රශ්න කිරීමට ලක් කරමින් එය දුර්වල කිරීමටයි.
මෙම මතවාදී ජයග්‍රහණය මගින් කියුබාව තුළ අභ්‍යන්තර වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන සහ මානසික පසුබිම සකස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස හඳුනාගත හැකිය.
