ජාතික ප්‍රතිපත්තියට පටහැනිව, ගුරු මාරු ආණ්ඩුකාර කමිටුවක් මගින්…

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව ගුරු මාරු මණ්ඩල මගින් ගුරු මාරු සිදුකළ යුතු වුවද ඊට පටහැනිව ආණ්ඩුකාරවරුන්ගේ නියෝග මත පිහිටුවා ඇති කමිටුවක් මගින් ගුරු මාරු සිදුකරමින් පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු චෝදනා කරයි.

මේ ආකාරයට ගුරු මාරු සිදුකරමින් පවතින කමිටුවලට ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළත් නොවන බවද, ආණ්ඩුකාරවරුන්ගේ දේශපාලන පත්වීම්ධාරීන් ඇතුළත් බවද ඔහු චෝදනා කරයි. එම දේශපාලන පත්වීම්ධාරීන් නිලධාරීන්ට ඉහළින් සිටිමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ගුරු මාරුවීම් සිදුකරමින් පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව ගුරු මාරු සිදුකිරීම සඳහා පත්කර ඇති උතුරු මැද පළාත් කමිටුව පිළිබඳ තොරතුරු ඔහුට ලැබී ඇති බවද, එම කමිටුව ගුරු ස්ථාන මාරු/අනුයුක්ත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත පත්කර ඇති විශේෂ අභියාචනා කමිටුව ලෙස නම්කර ඇති බවද, එම කමිටුවේ සාමාජිකයකු වශයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ආර් එම් ආර් එන් ආනන්ද සිටින බවද ප්‍රකාශ කරන ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා එම කමිටුව මෙහෙයවන්නේ එම සම්බන්ධීකරණ ලේකම්වරයා බවද පවසයි.

මේ ආකාරයට ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පිටින් ගුරු මාරු කිරීමට ආණ්ඩුකාරවරුන්ට බලයක් නැති බවද, එම අනීතික කමිටුව මගින් මේ වනවිට ගුරුවරුන් 400ක් පමණ මාරු හෝ අනුයුක්ත කර ඇති බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා පවසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading