”ආණ්ඩුවට යන කතාව අමූලික බොරුවක්” හර්ෂ ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව සමඟ එක්වන බවට පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරමින් සිය දේශපාලන ස්ථාවරය පැහැදිලි කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ තමන් කිසිදු අවස්ථාවක එවැනි සාකච්ඡාවකට සම්බන්ධ නොවූ බවයි.

තමන් දේශපාලනයට පිවිසියේ පවුල් පසුබිමකින් නොව, රට දියුණු කිරීමේ දැඩි වුවමනාවකින් බව පවසන මන්ත්‍රීවරයා, පටු දේශපාලන වාසි බලාගෙන තීන්දු තීරණ නොගන්නා බවත්, තමන් නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුර අතහැර යාමට කිසිසේත් සූදානම් නැති බවත් පවසා ඇත. එම කඳවුරට නායකත්වය ලබාදීම දක්වා තම ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඔහු එහි සඳහන් කරයි.

ඔහු සිය නිළ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබුණා.

රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.

දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.

ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.

ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

Author

Related Posts