ගාසා තීරයේ වසර 20කට ආසන්න කාලයක් පවතින ඊශ්‍රායල නාවික අවහිරය බිඳ දැමීම අරමුණු කරගත් Global Sumud Flotilla ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර අද (14) තුර්කියේ මර්මරිස් වරායෙන් ආරම්භ වේ.
මෙම සුවිශේෂී මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානුෂීය ක්‍රියාකාරිනී සමීරා මෙහබූබ්දීන් සහභාගී වන අතර, ඇය ඇතුළු පිරිස අද දින සිය ඓතිහාසික ගමන ආරම්භ කිරීමට නියමිතය.
ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත මෙම “ග්ලෝබල් සුමුද්” යාත්‍රා සමූහයට යාත්‍රා 50කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, එය මෑත ඉතිහාසයේ දක්නට ලැබෙන විශාලතම ජාත්‍යන්තර මානුෂීය මැදිහත්වීමක් ලෙස හැඳින්විය හැකිය.
මෙම දැවැන්ත මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ඊශ්‍රායල බලහත්කාරී වටලෑමට හසුවී සිටින ගාසා තීරයේ මිලියන 2කට අධික සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ අනෙකුත් මානුෂීය සැපයුම් සෘජුවම ලබා දීමයි.
විශේෂයෙන්ම ගාසා ජනගහනයෙන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් කුඩා දරුවන් වන අතර, පවතින දැඩි සම්බාධක හමුවේ ඔවුන් මුහුණ දී සිටින දරුණු පෝෂණ ඌනතාවය සහ සෞඛ්‍ය අර්බුදය සමනය කිරීම මෙම ගමනේ ප්‍රමුඛතම මානුෂීය අරමුණ වී තිබේ.
ශ්‍රී ලාංකික නියෝජිත සමීරා මෙහබූබ්දීන්ගේ සහභාගීත්වය හරහා ශ්‍රී ලංකා සිවිල් සමාජය ද මෙම ගෝලීය මානුෂීය අරගලයට එක්ව සිටියි. ඉදිරි දින කිහිපය තුළ මෙම යාත්‍රා සමූහය ගාසා වෙරළ තීරයට ළඟා වීමට අපේක්ෂිත අතර, ශ්‍රී ලංකා රජයේ සහ ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිශය වැදගත් වේ.
මෙම සාමූහික ජන සංහාරක ක්‍රියාවලිය හමුවේ නිහඬව සිටීම පීඩකයාට ලබාදෙන අනුබලයක් වන බැවින්, යුක්තිය අගයන සමාජයක් ලෙස අප සැමට පැහැදිලි වගකීමක් පැවරී ඇත. ඊශ්‍රායලයේ දශක ගණනාවක බලහත්කාරී මර්දනයට සහ ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කරගත් අමානුෂීය ප්‍රහාරයන්ට එරෙහිව හඬ නැගීම හුදු දේශපාලන ක්‍රියාවකට වඩා උත්තරීතර මානුෂීය යුතුකමකි.
සමීරා මෙහබූබ්දීන් වැනි ක්‍රියාකාරීන් සිය ජීවිත අවදානම නොතකා පෙරමුණට යද්දී, එම මෙහෙයුම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කරවීම, සත්‍ය තොරතුරු සමාජගත කිරීම සහ රාජ්‍ය මට්ටමින් බලපෑම් එල්ල කිරීම අපට කළ හැකිය. අවිහිංසාවාදී විරෝධය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් මෙම අයුක්ති සහගත වටලෑම බිඳ දැමීමටත්, පීඩාවට පත් මිලියන සංඛ්‍යාත ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමටත් අප සියලු දෙනා එක්ව පෙළගැසිය යුතුව තිබේ.
