ගල් අඟුරු සහිත නැව් දෙකක් ගොඩබාගත නොහැකිව මහ මුහුදේ පාවෙමින් තිබියදී, විදුලි බිල සහ තෙල් මිල පිළිබඳ පවතින මහජන විරෝධය යටපත් කිරීමට රජය විවිධ කොමිසන් සභා උපක්‍රම ලෙස භාවිත කරමින් සිටින බව පාඨලී චම්පික රණවක පවසයි.
මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවට රජය අතීත ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පවසමින් ජනතාව නොමග යවන බවයි.
මේ වන විට රජය විසින් මෙම අර්බුදය හමුවේ ක්‍රියා කරන ආකාරය විවේචනය කරමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ, ගල් අඟුරු රැගත් 17 වැනි සහ 18 වැනි නෞකා ද්විත්වය වාරකන් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොඩබා ගැනීමට නොහැකිව දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
වර්ෂාව ආරම්භ වී මුහුද රළු වෙමින් පවතින මෙවන් මොහොතක, අදාළ ගල් අඟුරු තොග ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය සතු විසඳුම කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. පවතින ප්‍රායෝගික ගැටලුවලට පිළියම් යෙදීම වෙනුවට රජය කොමිසම් සභා පත් කරමින් කාලය මිඩංගු කරන බවට ද හිටපු අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.
විශේෂයෙන්ම 2008 වසරේදී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ගල් අඟුරු මිලදී ගත් ආකාරය පිළිබඳවත්, තමන්ගේ පාලන කාලය තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳවත් අලුතින් පරීක්ෂණ පවත්වන බව පැවසීම පවතින අර්බුදවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් බව ඔහු පෙන්වා දුන්නේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනටමත් අවශ්‍ය විගණන වාර්තා සහ කොමිෂන් සභා වාර්තා පවතින පසුබිමක, රජය මෙලෙස කටයුතු කරන්නේ මහ මුහුදේ නැව් දෙකක් ගොඩබා ගත නොහැකිව තිබියදී සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු දීම මගහැරීමට බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සිය දැඩි විවේචනය එල්ල කළේය.
“‘මෙහි ප්‍රධානම ප්‍රශ්නය ටිල්වින් සිල්වා කියනවා, අපි ගල් අඟුරු පිළිබඳ සොයන්න කොමිසමක් දැම්මා, ඒ කොමිසමෙන් මාස තුනක් ඇතුළත අපේ අය නිදහස් වෙනවා. අනෙක් අය හිරේ යනවා එතකොට මේ කියලා. කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, මහාධිකරණ විනිසුරුවරයකු ඇතුළු අය පත් කර තිබෙනවා. මම ඒ කොමිසමට කියන්නේ වහාම ටිල්වින් සිල්වා කොමිසමට කැඳවා ඔහුට දඬුවම් දී පටන් ගන්න කියලා. නැත්නම් ඔබේ කොමිසමේ නිර්දේශ සහ ඔබේ කොමිසමේ ඉදිරි විමර්ශන වලට ඒක ලොකු බාධාවක්.” යනුවෙන් චම්පික රණවක ප්‍රකාශ කර තිබේ.
ගල් අඟුරු ගනුදෙනු සෙවීම සඳහා පත්කළ කොමිසම හරහා මාස තුනක් ඇතුළත තම පාර්ශ්වයේ අය නිදහස් වී අනෙක් පිරිස සිරගත වනු ඇති බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය, කොමිසමේ ස්වාධීනත්වයට එල්ල වූ බාධාවක් බව රණවක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම කොමිසමට බලපෑම් සහගත ලෙස අදහස් දැක්වීම හේතුවෙන්, වහාම ටිල්වින් සිල්වා මහතාව කොමිසම හමුවට කැඳවා ඔහුට දඬුවම් ලබා දීමෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
