ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතට සංශෝධන – දඩ මුදල් ලක්ෂය දක්වා ඉහළට

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදි වලට අදාළ මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වන දඩ මුදල් දස ගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

2025 සැප්තැම්බර් 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ සඳහන් දඩ මුදල් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස පියවර ගෙන ඇත.

ඒ අනුව, පනතේ 7(3), 13(2) සහ 20(අ)(3) යන වගන්ති යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ දණ්ඩනවල කැපී පෙනෙන සංශෝධනයක් සිදු කරමින්, රුපියල් 10,000/- ක්ව පැවති අවම දඩ මුදල රුපියල් 100,000/- දක්වා දස ගුණයකින් ඉහළ නැංවීමට ප්‍රතිපාදන සකස් කර ඇත. නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද හිමිව ඇති මෙම නව සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අවසාන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විටත් නීතිපතිවරයාගේ නිෂ්කාශනය හිමිව ඇති බව රජය සඳහන් කරයි.

කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, එම සංශෝධිත පනත් කෙටුම්පත ප්‍රථමයෙන් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉන් අනතුරුව, එම සංශෝධන නිල වශයෙන් නීතියක් බවට පත් කිරීම සඳහා අවසාන අනුමැතිය ලබාගැනීම පිණිස එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පැවසේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading