2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැළියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්රකාශය සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ විමර්ශන නිලධාරීවරයා (Special Rapporteur on the independence of judges and lawyers) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අධිකරණය විසින් ලබා දීමට නියමිත නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සිදු කළ එම ප්රකාශය හරහා මෙරට අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති වන බවත්, අධිකරණ ක්රියාවලිය සඳහා විධායකයේ මැදිහත්වීම හරහා සිදු විය හැකි අවධානමත් පෙන්වා දෙමින් එම පැමිණිල්ලේ සඳහන් කරන්නේ පොරොත්තු අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ව දැනුමක් ඇති බව පෙනී යන බවයි.
මේ හරහා මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ, අධිකරණ ස්වාධීනත්වය රාජ්යයේ මූලික රාමුවක් ලෙස පිළිගැනීම සම්බන්ධ ව්යවස්ථාව මෙන්ම 111C(1) හා 111C(2) ව්යවස්ථාවන්හි දැක්වෙන අධිකරණ කටයුතුවලට මැදිහත් වීමෙන් නිදහස් වීම සහතික කිරීම හා වගන්තිය අධිකරණ පාර්ශවකරුවන්ට අනිසි ලෙස බලපෑම් කිරීම අපරාධයක් ලෙස දැක්වීම යන ව්යවස්ථාපිත වගන්ති උල්ලංඝනය වන බව එම පැමිණිල්ලේ සඳහන් කරනු ලැබ තිබේ.
තව ද ස්වාධීන හා අපක්ෂපාතී විනිශ්චය සභාවකින් සාධාරණ නඩු විභාගයන් සහතික කරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (ICCPR) 14 වැනි වගන්තිය ද අධිකරණ ස්වාධීනත්වයට හානි වන ක්රියාවලින් රජයේ නිලධාරීන් වැළකී සිටිය යුතුය යන්න හා අධිකරණය අනිසි මැදිහත්වීම්වලින් තොර විය යුතුය යන අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම ද කඩවී ඇති බවට පැමිණිල්ල මඟින් චෝදනා කරනු ලැබ ඇත.
මෙම ප්රකාශය පිළිබඳව ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් සිදු කරන ලද ප්රකාශය ද එහි දී උපුටා දක්වමින් ශ්රී ලංකා රජය වෙත හදිසි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින ලෙසත්, ජාත්යන්තර නීතිය යටතේ රජයට මේ සම්බන්ධයෙන් ඇති බැඳීම සිහිපත් කරන ලෙසත්, අධිකරණ කටයුතුවලට විධායකයේ මැදිහත්වීම් වැළැක්වීම සඳහා ආරක්ෂක පියවර නිර්දේශ කරන ලෙසත් අදාළ පැමිණිල්ල මඟින් ඉල්ලා සිටිනු ලබයි.
කෙසේ නමුත්, විපක්ෂ නායක සජිත් ප්රේමදාස, දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන්, ජීවන් තොණ්ඩමන්, එස්. එම් මරික්කාර් ඇතුළු විවිධ පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන විපක්ෂ මන්ත්රීවරු විසින් සිදු කරනු ලැබ ඇති මෙම පැමිණිල්ල මඟින් මෙම ප්රකාශයට අදාළ අධිකරණ තීන්දුව 2026 මැයි 25 දින ලබා දීමට නියමිත බැවින් හදිසි කාරණයක් ලෙස සලකා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා ඇත.
